පුනරුත්ථාපනය වෙලා දැනට මම රැකියාවක් කරමින් බිරිඳ සහ දරුවන් එක්ක මගේ උපන් ගමේ සතුටින් ජීවත් වෙනවා. මගේ මාමාට ශ්‍රී ලංකා හමුදාව වෙඩි තියලා මරනවා දැක්කට පස්සේ මම තරුණ කාලේදීම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වුණා. ඊට පස්සේ මට කාලතුවක්කු පිළිබඳ පුහුණුවක් ලැබුණා. පස්සේ මම බලඇණියක ජෙනරාල්වරයක් බවට පත් වුණා.
2004 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙකඩ වීමත් එක්ක පාවාදීම රජ වුණා. මෙම බෙදීම හින්දා මට නැවත නැගෙනහිර පළාතේ මගේ උපන් ප්‍රදේශයට ඇවිත් එහේ රැඳී ඉන්න සිදු වුණා. මට හිටියේ සහෝදරයෝ. සටන්කරුවෙක් වුණ ඒ එක් කෙනෙක් ප්‍රාණ පරිත්‍යාගිකයෙක් බවට පත් වුණා. තවත් සහෝදරයෙක් වෙනත් සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයෙක් වෙලා හිටියා. සන්නද්ධ කණ්ඩායම් අතර මේ අභ්‍යන්තර බෙදීම මගේ පවුලට බලපෑම් කරන්න පටන් ගත්ත නිසා මට නැවත වතාවක් උතුරට එන්න වුණා.
2007 සන්නද්ධ ගැටුමේ අවසන් අදියර පටන් ගන්න කොට මම හිටියේ ආන්දපුරම් යුධ ගැටුම මැද. ජෙනරාල්වරයෙක් විදියට මගේ අවධානය තිබුණේ මගේ අණ යටතේ හිටිය සියලුම සාමාජිකයන්ව ආරක්ෂා කරන එක ගැන. දවසක් ආනන්දපුරම් හි දී ශ්‍රී ලංකා හමුදාව මම අණ දුන් බලඇණිය වැටලුවා. ප්‍රහාරයේදී කාඩර්වරුන්ට වුණ තුවාල පිළිස්සීම් නිසා ඇති වුණ ඒවා. හමුදාව සාමාන්‍ය ආයුධවලින් පහර දුන්න බව පෙනුනේ නැහැ. ඒ වගේ තුවාල ඇතිවුණේ අපි කලින් අහලා නැති තහනම් ආයුධවලින් පහර දුන්න නිසා කියලා පස්සේ මම දැන ගත්තා.
ගැටුමේ අවසන් අදියරේදී සිදුවුණු ජීවිත හානි අවම කරන්න කාඩර්වරු බෙදලා වෙන වෙන දිස්ත්‍රික්කවලට යවන්න කියලා නිකුත් කරපු උපදෙස් අනුව අපි 35 දෙනෙක් විතර මඩකලපුව නගරය පැත්තට ගමන් කරන්න පටන් ගත්තා. අපි මුල්ලියාවලෛ හරහා ගමන් කරමින් ඉන්නකොට අපිට ප්‍රහාර කීපයක් එල්ල වුණා. ප්‍රහාරවලින් අපි එක්ක ගමන් කළ කාඩර්වරු කිහිප දෙනෙක් මැරුණා. මාවිල්ආරු ප්‍රදේශයට ළඟා වෙනකට අපිට මඟ පෙන්වමින් හිටිය කාඩර්වරයා සර්පයෙක් දෂ්ට කරලා මැරුණා. පාර පෙන්නන්න කෙනෙක් නැතුව අපි හරි පාර හොයාගන්න මහන්සි වුණා. අතරමගදී අපිට තවත් පැරාමිලිටරි බලකායක් හමු වෙලා වුණ සටනේදී අපේ ඉතිරි වෙලා හිටිය කාඩර්වරුත් මැරුණා. සංඛ්‍යාවෙනුත් භෞතිකවත් දුර්වල වුණ අපි පූනානෛ ප්‍රදේශය හරහා පසු බැහැලා, වැලිකන්තෙයි ප්‍රදේශයට ඇතුළු වුණාම ශ්‍රී ලංකා හමුදා පාලන ප්‍රදේශය ඇතුළට අපි කොටුවුණා. ඒ මොහොතේ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය එයාලාට ලැබුණු හදිසි තොරතුරක් අනුව ඒ ප්‍රදේශයට ආවා. හමුදාව අපිව අත්අඩංගුවට අරගෙන වාලච්චේන පොලිස් ස්ථානයේදී ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය වෙත ඉදිරිපත් කළා. ඊට පස්සේ ප්‍රශ්න කිරීම් සඳහා අපිව දවස් තුනක් මින්නේරිය යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයේ රඳවාගෙන හිටියා. මම ඇතුළුව 14 දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. ඒකෙන් දෙන්නෙක් කාන්තා කාඩර්වරු. ඒ දෛවෝපගත දවසේ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය ආවේ නැත්නම් මම ජීවතුන් අතර ඉඳීද කියලා මට සැකයි.
මින්නේරියා යුධ හමුදා පුහුණු මධ්‍යස්ථානයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපිව රඳවාගෙන ප්‍රශ්න කළා. පස්සේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපිව ‘4 වන තට්ටුවට’ මාරු කළා. එතැනදී ප්‍රශ්න කිරීම් නාමයෙන් අපි වධ හිංසාවලටයි අමානුෂික සැළකිලිවලටයි ලක් වුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අභ්‍යන්තර බෙදීමෙන් පස්සේ ආණ්ඩුව පැත්තට පැන්න එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිහිප දෙනෙකුත් ‘ප්‍රශ්න කිරීම්’ සිදු කළ අය අතර හිටියා. මාත් එක්ක කඳවුරේ රැඳවියන් 800ක් විතර හිටියා. ඒ අයගෙන් සමහර අයව අත්අඩංගුවට අරන් තියෙන්නේ 1992 දී. මම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නිදහස් වුණාට පස්සේ මම එයාලාව බලන්න ගියා.
‘4 වෙනි තට්ටුවේ’ මාස හයකට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ ගත කරපු මම මගේ සහෝදරයාගේ උදව්වෙන් නීති ආධාර ලබාගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මාව වරකාපොල පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මාරු කළා. මම ජීවත් වෙන්නේ මගේ ගමේ වුණත් මේ පැත්තේ අපරාධයක් වුණාම මුලින්ම ප්‍රශ්න කරන්නේ මාව. පහුගිය දවසක ප්‍රදේශයේ අපරාධයක් වුණ වෙලාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාව අත්අඩංගුවට අරන් දවස් 15ක් රැඳවුම් භාරයේ තියාගත්තා. රැඳවුම් භාරයේ දී බීමත් CID නිලධාරීන් මට පහර දීලා වධ හිංසා කළා. මම විඳපු වධහිංසාවල විපාක මට දැනෙන්න පටන් අරන් තියෙන්නේ දැන්. විඳපු වධහිංසාවල බලපෑම නිසා රියදුරෙක් විදියට මට එක දිගට වැඩ කරන එක ලොකු වේදනාකාරී දෙයක්.
පුනරුත්ථාපනය වුණු පුද්ගලයෙක් විදියට මට අයිති ශ්‍රී ලංකා රාජ්‍යයෙන් දෙන නිවාස සහ ජීවනෝපාය ආධාර වගේ සහන මුකුත් මට ලැබිලා නැහැ. ඒක එහෙමම වුණාවේ. එහෙම උපකාරයක් වෙනුවෙන් මම කවදාවත් හිතාමතා මගේ නම හරි විස්තර හරි දීලා නැහැ. ශ්‍රී ලංකා රාජ්‍යයේ කිසිම ආධාරයක් සහනයක් එක්ක ජීවත් වෙන්න මම කැමති නැහැ. මගේම මහන්සියෙන්, ගොඩක් අරගල ජයගනිමින් මගේ ජීවිතය තනියෙන් ගත කරන එක මට සැනසීමක්.