1960 ගණන්වල දී රාජකාරියක් සඳහා දුම්රියේ ගමන් කරමින් හිටිය මගේ සීයා ව සිංහල මැරයන් කපා කොටා ඝාතනය කළා. තාත්තාගේ මුහුණ මතකයේ නැහැ කියලා නිතරම මගේ තාත්තා කියනවා. සීයා නැති වුණාම තාත්තාගේ පවුල බලා ගත්තේ තවත් මාමා කෙනෙක්. මඩකලපුවේ සිටි ඒ මාමා ව ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්ය බලකාය විසන් පැහැරගෙන ගිහින් තිබුණා. පැහැරගෙන ගිහින් දින තුනකට පස්සේ පවුලේ අයව හමුවෙන්න එයාව විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්කගෙන ආවා. ඊට පස්සේ එයා ගැන කිසිම තොරතුරක් අද වෙනකම් ලැබිලා නැහැ. මේවා මම මගේ තාත්තාගේ මාර්ගයෙන් දැන ගත්ත දේවල්.
මගේ තාත්තා විශ්වවිද්‍යාල සිසුවෙක් ව සිටිය දී මගේ ඔහුව වැටලීමක දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන මඩකලපුව හමුදා කඳවුරේ තබාගෙන වධ හිංසා කරලා තිබුණා. ඒ කාලයේ විශේෂ කාර්ය බලකාය දරුණු ගණයේ අත්අඩංගුවට ගැනීම්, මර්දනයන්, හේතුවක් නොමැතිව වෙඩි තබා ඝාතනය කිරීම් සිදු කළ කාලයක්. ඉන් අනතුරුව තාත්තාව නිදහස් කරනු ලැබුවත් නැවතත් අත්අඩංගුවට අරගෙන අවුරුදු තුනක් බූස්ස බන්ධනාගාරයේ හිර කරලා තිබ්බා. ඉන්දු – ලංකා ගිවිසුමට අනුව දේශපාලන සිරකරුවන්ට පොදු සමාව දුන්න නිසා මගේ තාත්තාටත් නිදහස හිමි වුණා. ඊට පසුවත් දිගින් දිගට ම ආරක්ෂක අංශවලින් ඇති වුණ කරදර නිසා ඔහු සිය උසස් අධ්‍යාපනය අතහැරියා. ඒ වගේ ම යාපනයේ ජීවත් වූ මගේ අම්මාගේ නිවස පලාලි හමුදා කඳවුර ආසන්නයේ පිහිටා තිබුණ නිසා නිතරම හමුදා බාධා කිරීම්වලට ඇයගේ පවුලට මුහුණ දෙන්න සිදු වුණා. එම නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි ඇය ද අයිතිවාසිකම් සඳහා වන අරගලයට එක් වුණා. මගේ දෙමාපියන් එකිනෙකා හමුවුණේ මෙවැනි අරගලයකයි. මේ පසුබිම මත මගේ පවුල නොයෙකුත් ක්‍රම මාර්ගයෙන් අපේ අයිතිවාසිකම් පිළිබඳ අරගලයට දායකව වී තිබුණා.
2006 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලියන්න සූදානම් වෙමින් හිටිය දවස්වල නැගෙනහිර පළාතේ සාම්පූර් සහ මුතූර් ප්‍රදේශයෙන් සටන් ආරම්භ වෙලයි තිබුණේ. ඒ දවස්වල කෆීර් ගුවන් ප්‍රහාර අපේ හිත්වලට විශාල බියක් ඇති කළා. ඒ කාලයේ මට කවදාවත් අමතක කරන්න බැරි සිදුවීමක් සිදු වුණා. කිලිනොච්චියේ මම ඉගෙනුම ලබමින් සිටි පාසලට කිලෝමීටර් 5 කින් පාසලේ උගන්වපු ගුරුවරයෙකුගේ නිවසක් තිබුණා. එදා අපි පාසල අවසන් වුණා ම හවස 2.30ට විතර පිට්ටනියේ සෙල්ලම් කරන්න ගියා. එතකොටම කෆිර් යානා අහසේ පියාසර කරන්න පටන් ගත්තා. හොඳටම බය වුණ අපි පන්තියේ හිටිය ගුරුවරයාට මේ ගැන කිව්වා ම, දුවගෙන ගිහින් බිම දිගා වෙලා ජීවිතය බේරගන්න කියලා නැවත නැවතත් කිව්වා. මම ගොඩාක් බයෙන් කෑගැහුවා. ඒ වෙලාවේ එම යානා පහත් වී බෝම්බ හෙළා ගියා. ඒවා මගේ ගුරුවරයාගේ නිවස මත වැටිලා සිදු වුණ පිපිරීමෙන් ගුරුවරයාත් එයාගේ දුවත් හැර ඒ පවුලේ සියලු දෙනා ම මිය ගියා. මෙය ජීවිතයේ ප්‍රථම වතාවට අසීමිත බියක් ඇති කළ සිදුවීමයි. මම ගුවන් බෝම්බ හෙළන යානයට බය වෙලා දිව්ව හැටි, බිම වැතිරිලා හිටිය හැටි, බය වෙලා කෑගහපු හැටි තවමත් මතකයි. ඊට පසුව දුරින් කෆීර් යානයක ශබ්දයක් ඇසුණත් කෑගහන තරමට ඒ බලපෑම අපේ හිත්වල තැන්පත් වෙලා තිබුණා.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලියන දවසේ ශ්‍රී ලංකා හමුදාව මල්ටි බැරල් ප්‍රහාරයන් එල්ල කරමින් සිටියා. ඒ විතරක් නෙවෙයි කෆීර් යානා අපේ ඔළුවට උඩින් විශාල ශබ්ද නගමින් පියාසර කරද්දී අපි විභාගය ශාලාව ඇතුළේ පිළිතුරු ලියමින් හිටියා. අපි, අපේ අධ්‍යාපන කටයුතු කළේ මේ වගේ භයානක පසුබිමකයි. 2007, 2008 අවුරුදුවල සටන තවත් උග්‍ර වෙන්න පටන් ගත්තා. 2008 වසරේ ජුනි මාසයේ දෙවන වාර පරීක්ෂණය පැවැති සමයේ (දිනය නිවැරදිව මතක් නැහැ) එකපාරට වාර පරීක්ෂණය කල් දාන බවත්, සටන් සහ අවතැන්වීම හේතුවෙන් මාසයක කාලයක් පාසල් නිවාඩු ලබා දෙනවා කියලා චක්‍ර ලේඛකයක් නිකුත් කළා. මාසයකට පස්සේ පාසල පටන් ගත්තා, ළමයින් 2000 ක් හිටිය පාසලට ඇවිත් තිබුණේ ළමයි 10 ක් විතරයි. එදා අම්මා මිසයිල කැබැල්ලක් පෙන්වලා කිව්වා, මීට පස්සේ මෙහෙ ඉන්න එක හරි නැහැ කියලා. මිසයිල ප්‍රහාර දැඩි වෙද්දී මධ්‍යම රාත්‍රියක මාවයි, මල්ලිවයි යතුරු පැදියේ නංවා ගත්ත තාත්තා ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගිහින් ඇරලවපු එක අදටත් මතකයි.
ධර්මපුරම්වලට ගිය අපි එහෙ කූඩාරමක් හදාගෙන ජීවත් වෙන්න පටන් ගත්තා. එහෙ ඉඳන් විශ්වමඩු, තේරාවි, උඩයර්කට්ටු, සුදන්දිපුරම්, සුන්ඩිකුලම් සහ දේවිපුරම් යනුවෙන් විවිධ තැන්වලට අපි අවතැන් වෙන්න පටන් ගත්තා. අවතැන් වීමට පටන් ගත්ත දවස්වල ඉඳලා බංකර අපගේ ජීවිත බවට පත් වුණා. තැනින් තැන අවතැන් වෙද්දී අප සතුව තිබු දෑ එකිනෙක අහිමි වෙන්න පටන් ගත්තා. සෑම අවතැන්වීමක දී ම අරයා මිය ගියා, අරයා තුවාල වෙලා යන පුවත් අපිට නිතරම ඇසුණා. මේ පුවත් අපේ හිත්වලට විශාල බයක් ඇති කළා.
දේවිපුරම් සිට ඉරනපාලෛවලට අවැතැන් වුණ අපි පෙබරවාරි මාසයේ අවසන් දිනවල මුල්ලිවායික්කාල්වලට ආවා. අපි අවතැන්වෙලා ගොඩාක් දවස් මුල්ලිවයික්කාල්වල නතර වෙලා හිටියා. එක් දවසක අපි දහවල් කෑම කන්න සූදානම් වෙද්දී, මල්ටි බැරල් කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන හඬ ඇහෙන්න පටන් ගත්තා. තාත්තා ආරක්ෂිතව ඉන්න ලෙසට කියා අවසන් කළා විතරයි, අප හිටපු තැන්වලට මිසයිල 40 ක් පමණ වැටිලා පිපිරුණා. ආරක්ෂිත ස්ථානවලට යන්නවත් අපිට අවකාශයක් ලැබුණේ නැහැ. එතරම් වේගයෙන් මිසයිල බිමට වැටෙමින් තිබුණා. අප සිටි තැනින් මීටර් 20ක දුරින් වැටී පිපිරුණ බෝම්බයකින් අපගේ කූඩාරමට පිටු පස කූඩාරමේ සිටි මහළු කෙනෙකු මිය ගියා. ඒ මහළු කෙනා සහ ඔහුගේ බිරිඳ අප සමඟ ඉතා හොඳින් සෙනෙහසින් ආශ්‍රය කළා. බෝම්බ ප්‍රහාර අවසන් වුණා ම, ඒ මහළු කෙනාගේ බිරිඳ තම සැමියාගේ ඔළුවෙන් ලේ ගලනවා යනුවෙන් කෑගැහුවා ම තාත්තා සහ එතැන හිටපු කිහිප දෙනෙකු ඔහුව ඔසවන විට ඔහුගේ හිසේ ඇති ව තිබූ තුවාලයෙන් මොළයට පිටතට පැන තිබුණා. ඔහු ඒ වෙලාවේ කෑම කමින් හිටිය නිසා ඔහුගේ බඩින් බත් පිටතට වැටෙනවා මම දැක්කා. ඔහුගේ අවසන් කටයුතු එම ස්ථානයේ දී ම කළා.
ඩ්‍රෝන යානා දිවා රෑ නොබලා පියාසර කළා. මිසයිල ප්‍රහාර සහ වෙඩි තබන හඬ දැඩි වෙමින් තිබුණා. ඉතා කුඩා භූමියක අපි කොටු වුණා කියලා අපිට දැනෙන්න පටන් ගත්තා. අප්‍රේල් මාසය අවසන් වෙද්දී තවදුරටත් එහි සිටීම ඵලක් නැහැ කියලා වැටහුණා. මැයි 09, 10 දිනවල කාලතුවක්කු සහ මෝටර් මිසයිල ප්‍රහාර අධික වුණා. අපි බංකරය තුළට වෙලා හිටියත් අපිව පසු කර ගිහින් කාල තුවක්කු උණ්ඩ වැටිලා පිපිරුණා. ස්වල්ප වෙලාවකින් අම්මා කෙනෙක් කෑගසමින් දුවගෙන ආවා. තවත් අය තුවාල ලැබු පුද්ගලයින් ව අත්වලින් සහ කකුල්වලින් අල්ලා ඔසවාගෙන ආවා. තුවාල වුණ අයව ඔසවාගෙන යාමට සුදුසු දෙයක් එහේ තිබුණේ නැහැ. ඉරට්ටෛවායික්කාල් ප්‍රදේශයේ දෙපැත්තෙන් ලංකා හමුදාව අපව ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළා. මැයි 10 වැනිදා තම යාළුවා සමඟ පිටතට ගිය මගේ තාත්තාගේ කකුලත්, බඩත් තුවාල වෙලා තිබුණා.
වයස අවුරුදු 12 ක් වුණ මම තාත්තාව බලන්න දුවගෙන යද්දී එයාව ප්‍රතිකාර කිරීමට පිකප් වාහනයට නංවලා තිබුණා. එතැන ගොඩාක් මිනිසුන් රැස්වෙලා හිටිය නිසා වාහනයට යන්න බැරි වුණා. “මේ වගේ වෙලාවක තුවාල වෙන එකට වඩා මැරෙන එක හොඳයි. මැරෙනවා කියන එක දවසක වේදනාවක් විතරයි. අවසන් කටයුතු කළාම ඒක ඉවර වෙයි. නමුත් තුවාල වෙනවා කියන්නේ, ප්‍රතිකාර, සත්කාර කියලා ගොඩාක් දේවල් තියෙනවා.” කියලා එදා තාත්තා කියපු එක මට මතකයි. ඒ වෙලාවේ, තාත්තා ඒ වාහනයේ සිහිය නැතිව ඉන්න එක දැකලා, එයා මේ විදිහට මැරිලා යයි කියලා මට හිතුණා. අවතැන් වීම් නිසා අපේ පවුලේ අය එක එක දිශාවන්වලට ගිහින් හිටිය නිසා හිත සනසවන්නත් කවුරුත් නැහැ. මොකක්ද කරන්නේ ඕනේ කියලා නොදැන හිටියා.
අවසානයේ දී මැයි මස 14 වැනිදා සැත්කම් කිරීමෙන් පසුව අවසන් වතාවට තාත්තා ව දැක්කා. එයා මගේ නෑනාට එන්න කියලා මීට පස්සේ එයාට අපිව දකින්න පුළුවන් වෙයි ද කියලා දන්නේ නැහැ කියලා කිව්වා. මාව පරිස්සමින් බලාගන්න කියලා තාත්තා මගේ නෑනාට කිව්වා. ඒක ඇහුණා ම මගේ නෑනා අඬන්න පටන් ගත්තා. තාත්තා නෑනාට කියපු දේවල් සහ ඒවා තේරුම් ගන්න පුළුවන් හැකියාවක් මට ඒ දවස්වල තිබුණේ නැහැ. මගේ නෑනා සහ එයාව විවාහ කරගන්න හිටිය අයියා මාව වෙනත් තැනකට එක්කගෙන යන්න උත්සහ කරද්දී බර ආයුධ අපගේ හිසට උඩින් ගියා. මගේ තාත්තා වාහනයේ ඉන්න ගමන් පහත් වෙලා දුවන්න කියලා කිව්වා. කොහොම හරි අපි එතැනින් වෙනත් තැනකට ගියා.
මැයි 15 වැනිදා තාත්තා එනකම් බලාගෙන ඉන්නේ නැතිව පිටත් වෙන්න තීරණය කළා. එදා රාත්‍රිය පුරාවට නන්දිකඩල් ප්‍රදේශයේ දැඩි ලෙස වෙඩි හඬත් බෝම්බ හඬත් ඇසුණා. මිසයිල අප අසලට වැටි පිපිරුණා. බංකරයෙන් එළියට ආවාම ආලෝකය සමඟ උණ්ඩ පිටවන අයුරු දකින්න පුළුවන් වුණා. මැයි 16 වැනිදා ඉරට්ටෛවායික්කාල් පැත්තෙන් ඉදිරියට පැමිණි හමුදාවේ ප්‍රහාර උග්‍රව තිබුණ නිසා ඒ පැත්තට යන්න හිතේ බයක් ඇති වුණා. වට්ටුවාකල් ප්‍රදේශයෙන් ඉදිරියට එන හමුදාවට භාර වෙලා හරි ජීවිතය බේරගන්න පුළුවන් කියලා හිතලා අපි ඒ දෙසට ගමන් කළා. වෙරළ අසල තිබූ තල් ගස් අතරින් ගිය විට එම ස්ථානයේ තිබු සන්නද්ද වාහනයක් භාවිත කරමින් විනාඩියක් විතර එක දිගට අපව ඉලක්ක කරගෙන වෙඩි තියන්න ගත්තා. ඊට පස්සේ අපිට එන ලෙසට අතින් සංඥා කළා. කතෝලික පියතුමන්ලා දෙදෙනෙකු සහ හින්දු පූජකවරුන් කිහිප දෙනෙකු ඉදිරියෙන් ගමන් කළා. එයාලාගේ පිටුපසින් ගිහින් අපි හමුදාව හිටිය ප්‍රදේශයට ඇතුළු වුණා.
2006 වසරේ දී යාපනයට ගිහින් මුලින් ම හමුදාව දැක්කයින් පස්සේ එදා තමා මම ආයෙත් එයාලාව දැක්කේ. ඒකත් මුරකුටියේ හිටිය හමුදාවේ අයට දැකලා පුරුදු මට යුද්ධයට සූදානම් වෙලා හිටපු අයව දැක්කා ම බයක් ඇති වුණා. එහෙ හිටිය හමුදා නිලධාරීන්ගේ තුවක්කු අප දෙසට හැරිලා තිබුණා. ජනතාව ඔවුන්ගේ අසලට ම ගිය වෙලාවේ අපට පිටුපසින් දුරින් පැමිණෙමින් සිටි අයව ඉලක්ක කරලා දිගින් දිගට ම වෙඩි තිබ්බා. එයාලා කාටද වෙඩි තියන්නේ කියලා මම දැනගෙන හිටියේ නැහැ. අපි වට්ටුවාකල් පාලම ළඟට යද්දී ගැහැනු කෙනෙක් ගමන් මල්ලක් අතැතිව මැරිලා වැටිලා හිටියා. ඒ කාන්තාවගේ කලවා ප්‍රදේශය පැලිලා තිබුණා. සමහර අය වතුරට බැහැලා හමුදා බල ප්‍රදේශයට ඇවිදින්න පටන් ගත්තා. වට්ටුවාකල් පාලමේ වම් පැත්තෙන් ජනතාව එන එක හමුදාව වැළැක්කුවා. එතැන සන්නද්ද වාහන 10 ක් පමණ වෙඩි තියන්න සූදානමින් නතර කරලා තිබුණා. හමුදා සෙබළුන් කළු රෙද්දකින් ඔළුව වහගෙන හිටියා. ඔවුන් අපට ඉතා දරුණු ලෙස සහ අසභ්‍ය ලෙස කතා කළා. එයාලා කියන දේවල් මිනිසුන්ට තේරුණේ නැති නිසා ඉතා දරුණු විදිහට හැසිරුණා. මම බොන්න වතුර ටිකක් ගත්තා ම ළඟ හිටිය කෙනෙක් කිව්වා, ඒකේ මස් කෑලි තියෙනවා බොන්න එපා කියලා. නමුත් කරන්න දෙයක් නැති නිසා මම ඒකට ඇහුම්කන් දෙන්නේ නැතිව වතුර බිව්වා. මැරුණ අයගේ මස් කෑලි එක්ක වතුර බිව්වා කියන බය හෝ පිළිකුලක් ඒ වෙලාවේ තිබුණේ නැහැ.
එදා ඉදලා දවස් හතරක් හෝ පහක් අපිට කෑමට ලැබුණේ කංජි විතරයි. ඒකෙත් බත්වලට වඩා වැඩියෙන් තිබුණේ වතුර. තල් ගස් ටිකක් පහු කරලා වගුරු බිමකට අපිව හමුදාව එක්කගෙන ආවා. එතැන ගොඩාක් මිනිසුන් රැස්වෙලා හිටියා. එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටිය අයට භාර වෙන්න කියලා ශබ්ද විකාශන යන්ත්‍රයකින් හමුදාව අණ කළා. මගේ තාත්තා මේ පිරිස එක්ක ඉන්නවා ද කියලා හෙව්වත් එයා පණ පිටින් ඉන්නවා ද කියලාවත් දැනගන්න එහෙදී අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි හිටපු තැනින් ඉඳලා බලද්දී සටන ඉතා උග්‍ර අතට හැරිලා කියලා දැකගන්න පුළුවන් වුණා.
ඊට පස්සේ ජනයාව ශරීර පරීක්ෂාවට ලක් කළා. සියලු දෙනාව නිරුවත් කරලා මේ පරීක්ෂාව සිදු කළා. ගැහැනු පිරිමි භේදයක් නැතිව මේක සිදු වුණා. පරීක්ෂාව අවසන් වුණා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලට අපිට නගින්න කිව්වා. මැයි 18 වැනිදා එල්.ටී.ටී.ඊ පාලනයේ තිබුණ හැම ප්‍රදේශයක් ම මුදාගත්තා, එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටිය අය, ඔවුන්ගේ පවුලේ අය, කොටි සංවිධානයට උදව් කළ අය හමුදාවට භාර වෙන්න කියලා ශබ්ද විකාශන යන්ත්‍රයෙන් අණ කළා. මගේ අම්මා තාත්තා තරුණ කාලයේ දී රාජ්‍යයට එරෙහි සටන්වලට සම්බන්ධ වෙලා හිටිය නිසා මගේ වයස ගැනවත් හිතන්නේ නැතිව මාවත් අත්අඩංගුවට ගනියි කියලා හිතුවා. ඒ වෙලාවේ හවස සෙට්ටිකුලම් පිහිටා තිබුණ කලාප අංක 4ට අපිව පිටත් කළා. තුවාල හේතුවෙන් මාස කිහිපයකට කලින් ම පිටතට ආපු මගේ සීයා බොහෝම අසීරුවෙන් කඳවුරට ඇවිත් මාව හමුවෙලා කතා කළා. තුවාල ලබලා ඉන්න තාත්තා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ගන්නවා කියලා කිව්වා. ඒක මගේ හිතට සැනසීමක් වුණා.
දැන් මම පුද්ගලිකව කාර්මාන්ත ශාලාවක් පවත්වගෙන යනවා. කොහොම වුණත් මෙම සිදුවීම් නිසා හිතේ ඇති වුණ කම්පනයන් තාමත් තියෙනවා. භාර වුණ විට ඇඳුම් ගලවා නිරුවත් කර සිදු කළ පරීක්ෂාවේ දී මම අවමානයට ලක් වුණා. මගේ කමිසය සහ කලිසම ගැලවූ අවස්ථාවේ දී මගේ හිතේ බයක් ඇති වුණා. ඇඳුම් ගලවන විට ළඟ ඉන්නේ අම්මා ද නැත්නම් දරුවා ද කියා නොබලා හමුදාව ක්‍රියා කළ ආකාරය ගැන හිතුවාම බොහෝ දුෂ්කරතා මැද ජීවිතය පමණක් බේරගැනීමට පැමිණි ජනයාට මෙහෙම කළා නේ කියන දුකකුත් ඇති වෙනවා.
අවසන් යුද්ධයේ දී මම දැක අත්දුටු දේවල් අනුව දෙමළ ජනයාව මුදා ගන්නවා කියන නමින් හමුදාව කළ ක්‍රියාවන් හා ගැළපෙන්නේ නැහැ කියන එක මම තේරුම් ගත්තා. අවසන් යුද්ධය කියන්නේ සියයට සියයක් හමුදා මෙහෙයුමක් මිස මානුෂීය මෙහෙයුමක් නෙවෙයි. අපව ඉලක්ක කරමින් සිදු කළ වෙඩි තැබීම්, මිසයිල ප්‍රහාර එල්ල කිරීම්, නිරුවත් කර අවමන් කිරීම මානුෂීය මෙහෙයුමට ඇතුළත් ද.?