කෝදෛගේ කතාව

බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක් වූවන් ඥාතීන් විසින් ආරම්භ කර ඇති අරගලයේ දී මා තවදුරටත් රඳවාගෙන සිටින්නේ, මුල්ලිවායික්කාල් හි සිදු වූ සංහාරයෙන් මිය ගිය ගර්භනී මව්වරුන්, දරුවන් සහ මහළු අයගේ ආත්මයන් ය.

එම ආත්මයන්, මා හෙම්බත් වී විඩාවට පත් ව මෙම අරගලයෙන් ඉවත් වීමට සිතුව ද “අයියෝ.. අපිව දාලා යනවා ද? අපිව අමතක කළා ද? අපගේ රුධිරය වියළි ගියා ද? අපගේ ලේ දැකලත් අතහැරලා යනවා ද? ඔයා හෙම්බත් වෙලා ද? ඔයා මේ විදිහට ඉන්න හොඳ නැහැ. මීට පස්සේ අපේ ජාතියට මෙහෙම දෙයක් වෙන්න හොඳ නැහැ. අපේ ජනයා විනාශ වෙන්න හොඳ නැහැ.” යනුවෙන් මාගේ ඇස් ඉදිරිපිට පැමිණ පවසන අයුරුත්, ඔවුන්ගේ හඬ ඇසෙමිනුත් තිබේ. මාව තවදුරටත් අතුරුදන් කළ වූවන්ගේ  ඥාතීන්ගේ අරගලයෙහි ක්‍රියාශීලිව තබා ඇත්තේ ද එම හැඟීම් ය.

මම මගේ සැමියා සහ අවුරුදු දෙකක් වයසැති දරුවා වඩාගෙන අපගේ ජීවිත ආරක්ෂා කරගැනීමේ අරමුණින්  දිව යමින් සිටිය දී, “අපිවත් අරගෙන යන්න.” යනුවෙන් බරපතල ලෙස තුවාල වී ජීවිතය සමඟ පොර බඳිමින් සිටි බොහෝ අය බැගෑපත් වුණත් එයාලාගේ ඉල්ලීම් අහක දමමින් අපගේ ජීවිත විතරක් බේරගන්න දිව ගිය අයුරු කෙසේ අමතක කරන්න ද?

“මෙතැන ජීවිත කීයක් නම් නැති වුණා ද?” යන කරුණ මුල්ලිවායික්කාල් ප්‍රදේශයට යන සෑම අවස්ථාවක ම සිහි වෙයි. අප රැඳි සිටි ස්ථාන දෙස බලන විට දෑත් දිගු කරන, ඇස් පිල්ලම් ගසන, වැතිර සිටින, විලාප දෙන, දිව යන මිනිස් රූප මාගේ දෑස් ඉදිරියේ මැවී පෙනෙයි. බෝම්බ පතිතවීම්, මිය යාම්, ජීවිතය බේරන්න දිව ගිය ආකාරය අදටත් මම සිහිනයෙන් දකිමි. කොපමණ කාලයක් ගත වූවත් ‘මුල්ලිවායික්කාල්’ ඛේදවාචකයන් අමතක කළ නොහැක.

යුද අවසාන කාලයේ දී අප ගොඩනැගිලි සහ ගස් නොමැති එළිමහන් කලාපයක කොටු වී සිටියෙමු. එවිට අපට අව්ව දැනුනේ නැත. අව්වෙහි නිදාගනිමින්, ඇවිද යමින්, ප්‍රාණ බියෙන් සිටියෙමු. එහෙත් එම හිරු එළිය හොඳින් ලැබුණ විවෘත පරිසරයක සිටි අපව ඝාතනය කිරීම ශ්‍රී ලංකා හමුදාවට ලැබුණ මහඟු අවස්ථාවක් විය.

“හැම කෙනෙකුටම ආරක්ෂිතව ඉන්න පුළුවන්. ඔයාලා ඉන්න තැන්වල සුදු කොඩි ගහලා තියන්න.” යනුවෙන් හමුදාව සිදු කළ ප්‍රකාශය විශ්වාස කරලා මුල්ලිවායික්කාල් ප්‍රදේශයට අවතැන් වී සුදු කොඩි පෙන්වමින් සිටි අපව ඉලක්ක කරමින් කෆීර් ප්‍රහාරයන්, ෂෙල් ප්‍රහාරයන් සහ පොකුරු බෝම්බ ප්‍රහාරයන් හමුදාවෝ එල්ල කළහ.


ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් එම ස්ථානයෙන් පළා යමින් සිටි දී දුටු මළ සිරුරු, බරපතල තුවාල ලබා ජීවිතය සමඟ සටනක නියැලි සිටි පිරිස් දැක නොදැක්කා සේ දිව ගිය සිදුවීම් එම ස්ථානයට ගිය විට මාගේ දෑස් ඉදිරියේ දර්ශනය වෙයි.

මෙහි ඇති පස අතින් ගෙන එහි සුවඳ ආග්‍රහණය කළ විට තවමත් පුළුටු ගද දැනෙයි. එතරම් රුධිර එම පස උරාගෙන ඇත. මෙය කෙසේ නම් අමතක කරන්න ද?

උග්‍ර ලෙස යුද්ධය පැවැති මැයි 14, 15 සහ 16 යන දිනවල මාගේ දරුවාට පාචනය ඇති ව තිබුණි. උණු ජලය ස්වල්පයක් පානය කරවිය යුතු යැයි සිතා, බිඳුණු මුට්ටියක් අරගෙන ජලය රත් කිරීමේ අරමුණින් පිටතට පැමිණි අවස්ථාවේ දී එල්ල වූ ෂෙල් ප්‍රහාරයකින් මම තුවාල ලැබුවෙමි. ෂෙල් කැබැල්ලක් බඩෙහි සිර විය. මා මිය යනු ඇතැයි බියට පත් වූ සැමියා මාගේ ජීවිතය බේරගැනීමේ අරමුණින් මා රෝහලකට රැගෙන යාමට මහත් උත්සහායක් දැරුවේ ය. එහෙත් අපව රැගෙන යාමට නැවක් හෝ පැමිණියේ නැත. මාගේ තුවාලය පැසවලා දුර්ගන්ධයක් හමන්නට විය.  මා හට හුස්ම ගැනීමට නොහැකි වීම හේතුවෙන් මැයි 16 වනදා මම සැමියා සහ දරුවා ද වඩාගෙන මුල්ලිවායික්කාල් මුහුදු තීරයෙන් පිටත් වුණෙමු.

මැයි 17 වනදා මුල්ලිවායික්කාල් සහ වට්ටුවාකල් වෙන් වන සීමාව අතර පැමිණිය ද,  වට්ටුවාකාල් වෙත යාමට නම් මුහුද පසු කළ යුතුය. එම කාලයේ දී පාලම අබලන් තත්ත්වයේ පැවැතීම නිසා, ජනතාව මුහුදින් එතර වීමට උත්සහ කළ අවස්ථාවලදී හමුදාව විසින් එල්ල කළ ෂෙල් ප්‍රහාරවලට මැදිව මිය ගිය මළ සිරුරු මුහුදේ පා වෙමින් තිබුණි.

මිය ගොස් සිටි බොහෝ පිරිස් යාපනයේ පදිංචිකරුවන් ය. යාපනයට මෙම මාර්ගය හරහා පළා යා හැකි යැයි වාහනවලින් පැමිණි ජනයා ඉලක්ක කර එල්ල කළ ෂෙල් ප්‍රහාරවලින් බොහෝ පිරිස් මිය ගියහ. ඔවුන් විවිධ ඉරියව්වලින් ඔවුන් මිය ගොස් සිටියහ.  තරුණයන්, යුවතියන්, ගැබිණි මාතාවන්, මහල්ලන්, මැහැල්ලන්, පූජකවරයෙක් යනුවෙන් 300කට අධික පිරිසක් ඝාතනයට එහිදී ලක් වූහ.

මොවුන්ගේ මළ සිරුරු පාගා, මුහුදෙන් එතර වී වට්ටුවාකල් වෙත පැමිණෙන විට මා හට දැනුණ පිපාසය සන්සිඳුවා ගැනීමට මුහුදු ජලය අතින් ගෙන පානය කර දරුවාටත් එය ලබා දුන්නෙමි. පැමිණෙන අතරමඟ රුධිරය මිශ්‍ර ජලය පානය කර ඇති බවට වැටහුණේ වට්ටුවාකල් වෙතට පැමිණීමෙන් අනතුරුව හමුදාව දුන් පිරිසිදු ජලය දැකීමෙන් ය.

එහි පැමිණීමෙන් අනතුරුව මාගේ සැමියාගේ නම පවසා භාර වන ලෙසට හමුදාව විසින් අණ කරන  ලදි. මාව රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව භාර වන බවට ඔහු ආයාචනා කළේ ය. හමුදාව දිගින් දිගට ම සිදු කළ කෲර පහර දීම හේතුවෙන් ඔහුට භාර වන ලෙසට මම පැවසුවෙමි. “නැහැ ඔයාවත් බේරෙන්න ඕනේ. මම හිරේ ගියොත් කවුද දරුවාව බලාගන්නේ.” යනුවෙන් පිළිතුරු දී, “සර් ප්ලීස්.. සර් ප්ලීස්.. සර් එයාට තුවාල සර්…” තමන් දන්න සිංහලෙන් බැගෑපත් ව පහර කමින් ඔහු මා මන්නාරම රෝහලට යන බසයකට නැංවීමට කටයුතු කළේ ය. මෙම සිදුවීමට මා හට අමතක කළ නොහැක.

හමුදා නිලධාරින් ඔහුට නිතර ම පහර දෙන අයුරු මා බසයේ ජනේලයෙන් පිටත බැලූ සෑම අවස්ථාවක ම දුටුවෙමි. මා ඔහුගෙන් කුමක් දැයි ඇසු විට, “ඔයා තනියෙන් මොනවා කරගනියි ද කියලා දන්නේ නැහැ. දරුවාව පරිස්සමින් බලාගන්න. අවුරුදු දහයක් ගියත් මම ආයෙත් එනවා. භාර වෙන්න කියලා නේ කියන්නේ. ලංකා රජය කොහොම හරි අපිව නිදහස් කරයි. මම එන්නම්.” යනුවෙන් ඔහු කෑගැසු අයුරු මට කිසිදු අවස්ථාවක අමතක කළ නොහැක.


2009.05.17 වනදා උදෑසන 9.00 ට ලංකා හමුදාවට මගේ සැමියා භාර වීමෙන් අනතුරුව ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් රතු පැහැති බස් රථයක ඕමන්තේ බලා රැගෙන යන අයුරු කෙසේ අමතක කරන්න ද? අමතක කළ නොහැකි මුල්ලිවායික්කාල් මතකයන් මාගේ සැමියා ඇතුළු අතුරුදන් කළ වූවන්ගේ යුක්තිය සඳහා වන අරගලයට විවිධ අවස්ථාවලදී ශක්තියක් වී තිබේ.

අප ඉල්ලා සිටින යුක්තිය සහ සාධාරණ ඉල්ලීම් කෙදිනක හෝ ලැබුණ ද මුල්ලිවායික්කාල් සිට ජීවිතය බේරගෙන පැමිණි අයුරු අමතක වනු ඇතැයි යන්න සැකයකි.