කණිමතීගේ කතාව

ගොඩක් දෙනෙක් අහිමිවීමෙන් වේදනා විඳ අපි අපි ජීවත් වෙන්නේ ගැඹුරු මානසික තුවාල එක්ක. මම තවමත් මිනිස්සු එක්ක සමාජ සේවා වැඩ කරන එකම හේතුව යුද්ධයේ අවසන් අදියරේදී මරලා දාපු හැම මනුස්සයාටම යුක්තිය ඉෂ්ඨ වෙන්න ඕනේ නිසා.

යුද්ධයේ අන්තිම කාලය! දෙයියනේ මට ඒක කවදාවත් අමතක කරන්න බැහැ. එක එක වර්ගයේ බෝම්බ, ෂෙල් වෙඩි, කෆීර් බෝම්බ, පොකුරු බෝම්බ, පොස්පරස් බෝම්බ පාවිච්චි කරලා සිවිල් වැසියන්ට දිගින් දිගටම බෝම්බ දාපු එකයි, බෝම්බ ප්‍රහාරවලින් අතපය ගැළවිලා ගණන් කරන්න බැරි තරම් මිනිස්සු ගාණක් මැරුණ එකයි අපි අමතක කරන්නේ කොහොමද? මේ ඔක්කොම අමතක කරලා අපිට ඇත්තටම සංහිඳියාව ගැන කතා කරන්න පුළුවන්ද?

2008 අගෝස්තු මාසයේදී මමයි මගේ පවුලේ අයයි අපේ ගමෙන් පිටවෙන්න පටන්ගත්තා. පරන්තන් ඉඳන් විශ්වමඩු ගිහින්, එතැනින් උදයාර්කට්ටු ගියා. උදයාර්කට්ටුවලට දිගටම බෝම්බ ගහපු නිසා අපි ඉරුදුමඩු ගියා. ඉරුදුමඩු සතියක් නැවතිලා ඉඳලා අපි ආයේ දේවිපුරම් ගිහින්, පුදුකුඩිඉරිප්පු ගිහින් එහේ මාස දෙකක් හිටියා. අපි පුදුකුඩිඉරිප්පු හිටිය කාලයේ එක දවසක් රෑ 9ට විතර පොකුරු බෝම්බ දැම්මා. බංකර් ඇතුළේ හැංගෙන්න ගිය කීප දෙනෙක් මැරුණා. ඊට පස්සේ තමයි මම පොකුරු බෝම්බ ගැන පළවෙනි වතාවට දැන ගත්තේ. ගුවන් යානයෙන් බිමට වැටිලා පළවෙනියෙන් පුපුරනකොට ඒවා කෑලි කීපයකට කැඩෙනවා. ඒ හැම කෑල්ලක්ම ඊට පස්සේ වෙන වෙනම පුපුරනවා. ඒවා වැටෙන ඕනෑම තැනක මහා බරපතල විනාශයක් වෙනවා.

ශ්‍රී ලංකා හමුදාව පුදුකුඩිඉරිප්පුවලට ළං වෙනකොට අපි වලඤ්ඤර්මඩම් ගියා. පවුල් තුනක් එක රැයක් පොඩි බංකරයක නැවතිලා හිටියා. ශ්‍රී ලංකා හමුදාව පුරුදු විදියට නවත්තන්නේ නැතුව බෝම්බ ගැහුවා. මම බංකරයේ දොරකඩ තියාගෙන තේ හදන්න බඩු හෝදමින් ඉන්නකොට බංකරය ළඟින් බෝම්බයක් පිපිරුණා. එතකොට වතුර වගේ දියරයක් මගේ ඇඟට වැටුණා. බයටම මම ආපහු බංකරයට පැන්නා. ඒත් ළඟ හිටපු මිනිස්සු මහා හයියෙන් කෑ ගහනවා  අපිට ඇහුණා.

ඊට ටිකකට පස්සේ ලේවලින් නෑවුණ අත දරුවෝ දෙන්නෙක් උස්සගෙන වයසක මනුස්සයෙක් අපේ බංකරය ඇතුළට ආවා. අපි එයාගෙන් දරුවෝ දෙන්නා අරගෙන අපි ළඟ තිබුණ ඇඳුම්වලින් ලේ පිහදැම්මා. ඒ බෝම්බයෙන් එයාගේ බිරිඳ, පුතා, ලේලිය ඇතුළු එයාගේ පවුලේ හැමෝම මැරිල. මේ වෙලාවේ අක්කා මගේ ඇඳුම මළකඩ කාලා පුංචි අළු පාට කෑලිවලට කැඩෙන්න පටන් අරන් තියෙනවා දැකලා, ‘ළමයෝ, ඔයාගේ ඇඳුමත් මළකඩ කාලා නේද?’ කියලා පුදුම වෙලා මගෙන් ඇහුවා. මම මගේ ඇඳුම අතගාන කොට නූලෙන් නූල දියවෙලා යනවා කියලා මම දැක්කා. මගේ ඇඟේ දැවිල්ලක් දැනුණා. මගේ මස්සිනා මට අඳින්න තවත් ඇඳුමක් රෙදි වැලෙන් ගන්න හදනකොට ඒවාත් පොඩි අළු පාට කෑලිවලට කැඩිලා ගියා. ශ්‍රී ලංකා හමුදාව අපිට පොස්පරස් බෝම්බ දැම්මා කියලායි, මගේ ඇඟට වැටුණ දියරය ඒ බෝම්බවලින් පිට වුණ දෙයක් කියලායි මට තේරුණේ එතකොට.

දිගටම නැවතිල්ලක් නැතුව බෝම්බ ගහනකොට අපි ඒවායින් බේරෙන්න මහා රෑ 12.00 ට විතර බඩුමුට්ටුත් අරගෙන මුල්ලිවායික්කාල් පැත්තට එන්න පටන් ගත්තා. අතරමගදී ප්‍රජා ශාලාවක් ළඟ තිබුණ ගෙදරක පවුල් 15-20ක් විතර නැවතිලා ඉන්නවා අපි දැක්කා. එතැන ළිඳකුයි බංකරයකුයි තිබුණ නිසා අපි එතැන නවතින්න තීරණය කළා. එතැනදී එක ප්‍රහාරයකින් මිනිස්සු 15-20ක් මැරුණ හැටි මම දැක්කා. උයන්න හාල් හෝද හෝද හිටිය අහිංසක ගෑනු, වළංවලින් කෑම අයින් කරන්න එළියට ගිය මිනිස්සු මැරිලා බිම වැටිලා හිටිය දර්ශනය තවමත් මගේ මනසේ ඒ විදියටම තියෙනවා. හමුදාව ඉස්සරහට ආපු නිසා අපි මුල්ලිවායික්කාල් මුහුදුබඩ පැත්තට ගියා.

මාස එකහමාරක් එහේ නැවතිලා ඉන්නකොට මගේ පුතාගේ මාර්ගයෙන් මම අඳුනගත්ත කෙනෙක්ගේ බිරිඳට බබා හම්බෙන වෙලාවේ මාංචෝලෛ ඉස්පිරිතාලෙට එන්න පුලුවන්ද කියලා මගෙන් ඇහුවා. මම එයාලා එක්ක මාංචෝල‍ෛ ඉස්පිරිතාලෙට ගියා. දරුවා ප්‍රසූත කරපු ගමන්ම එයාලා ලේ පිහදාන්නේත් නැතිව දරුවා මට දුන්නා. මම බබාව රෙද්දකින් ඔත ඔතා ඉන්නකොට අපි ළඟම ෂෙල් එකක් වැටිලා පිපිරුණා. මාවයි බබාවයි දෙන්නාවම ඈතට විසි වෙලා ගියා. වැටෙනකොට බබාව ආරක්ෂා කරගන්න මම බබාව මගේ බඩට තියලා බදාගෙන හැරිලා වැටුණා මගේ කොන්ද පැත්ත වදින්න. මම නැගිටිනකොට වයසක කෙනෙක් එයාගේ බඩෙන් එළියට පැනපු බඩවැල් අත් දෙකෙන් අල්ලගෙන වෛද්‍ය උපකාර ඉල්ලලා කෑ ගහනවා මම දැක්කා. එයාට වෛද්‍ය ආධාර දෙන්නේ කොහොමද? ඉස්පිරිතාලේටත් එක්ක හැමතැනටම හැම වෙලේම බෝම්බ ගහපු නිසා නර්ස්ලා හැමෝම හිටියේ බංකර්වල. ඒ නිසා එයාලාට ඒ වයසක මනුස්සයාට උදව් කරන්න බැරි වුණා. තුවාල වුණ හැමෝවම ඉස්පිරිතාලය ඉස්සරහ හදපු තාවකාලික කූඩාරමක ගෙනිච්චා. එදා 500කට වඩා තුවාල වෙලා ඉන්නවා මම දැක්කා. ශ්‍රී ලංකා ආණ්ඩුව ‘ආරක්ෂිත කලාප’ කියලා නම් කරලා තිබුණ ප්‍රදේශවලටත් ගොඩක් බෝම්බ ප්‍රහාර එල්ල කළා. TRO සංවිධානය දවසක් කංජි බෙදනකොට කංජි ටිකක් ගන්න මිනිස්සු සිය ගාණක් පෝලිමේ හිටියා. එහෙම රැස් වෙලා හිටිය සිවිල් මිනිස්සුන්ට ෂෙල් ගැහුවා. ඒ මම දැකපු සංහාරය මට අමතක කරන්න බැහැ. ගෑනු, ළමයි, වයසක මිනිස්සු අතේ පිඟන් තියාගෙනම මැරිලා වැටිලා හිටියා.

මගේ මහත්තයා රාජ්‍ය නොවන සංවිධානයක වැඩ කළා. එයා ඒක තිබුණ තැනට වැඩ කරන්න ගියා. මට එයා එක්ක කතා කරන්න පුළුවන් වුණේ සතියකට එක පාරයි. මම මගේ මහත්තයා හමුවෙන්න යන හැම වෙලාවේම මට යන්න වුණේ මැරුණ මිනිස්සු පාගගෙන, තුවාල වුණ මිනිස්සු පහු කරගෙන. හැමදාම පොස්පරස් බෝම්බ, පොකුරු බෝම්බ, කෆීර් බෝම්බ ඉවරයක් නැතුව වැටුණා. 2009 මැයි 15 වැනිදා ශ්‍රී ලංකා හමුදාව ගොඩක් ළඟට ඇවිත් තිබුණා. රෑ 11ට විතර එල්.ටී.ටී.ඊ. සංවිධානය නිවේදනය කළා “අම්මා! (ශ්‍රී ලංකා) හමුදාව ආවොත් ඔයාලා යන්න; අපි සටන් කරන්න යන්නේ නැහැ. අපි ඉවත් වෙනවා, යන්න කැමති අයට යන්න පුළුවන්.” කියලා.

පහුවදා පාන්දර 3.30 ට විතර හමුදාව ඒ පැත්ත වට කළා. එයාලා සිංහලෙන් කතා කරනවා බංකරය ඇතුළට අපිට ඇහුණා. එයාලා අපිට බංකරයෙන් එළියට එන්න කියලා නියෝග කළා. හමුදාව අපිට එන්න කියපු තැනට අපි ගියේ පාර දිගේ තිබුණ කටු, වළවල් උඩින් පැන පැන. අන්තිමට අපිව ගෙන්නලා ශිව කෝවිලක් ළඟ තිබුණ තල් ගස් යායක් වටේට රැස් කළා. එතැන මිනිස්සු 2000කට වැඩි ගාණක් කිටි කිටියේ තද වෙලා හිටියා. බිස්කටුයි වතුර බෝතලුයි දීලා අපිට බස්වලට නගින්න අණ කළා. අපිව බස්වලින් ඉරද්දෛවයික්කාල් අරන් ගියා.

ඉරද්දෛවයික්කාල්වලදී අපිව කාණ්ඩ කීපයකට බෙදුවා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්, එයාලා එක්ක වැඩ කරපු අය, සිවිල් මිනිස්සු කියලා. කොළ පාට කූඩාරම් තිබුණා. කූඩාරම් ඇතුළෙන් ගෑනු ළමයි කෑගහන සද්ද ඇහුණා. “අම්මා! අපිව බේරගන්න! අන්නා, අපිව බේරගන්න! මෙතැන වෙන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙයි කවුරුහරි අපිව බේරගන්න?” කියලා  මොරදුන්න එක තවමත් මට ඇහෙනවා. මම, මගේ ළමයි, මගේ සහෝදරිය, එයාගේ මහත්තයා, එයාලාගේ ළමයි සවස 6 වෙනකම් එතැන පෝලිමේ හිටියා. ඒ මුළු වෙලාවේම ගෑනු ළමයි කෑගහන සද්දේ අපිට ඇහුණා. කූඩාරමෙන් එළියේ හිටපු හමුදා නිලධාරීන්, කූඩාරමේ ඉඳලා එළියට ආපු හමුදා නිලධාරීන්ට අතට අත දීලා උරහිසට තට්ටු කරලා හිනාවෙවී සුබපතපු විදිය මම අමතක කරන්නේ කොහොමද? ගැහැණු ළමයින්ගේ දෙමාපියෝ කූඩාරම්වල එළියේ විලාප තියපු විදිය දරාගන්න බැහැ.

එතැන හිටගෙන ඉද්දි මගේ අතේ තිබ්බේ හෑන්ඩ් බෑග් එකක් විතරයි. ඒකේ රුපියල් ලක්ෂයකුයි රත්තරන් මාලයකුයි තිබුණා. හමුදාව මගේ බෑග් එක පරීක්ෂා කරනකොට මගේ අවධානය තිබ්බේ වෙන දේකට. මගේ බෑණා කෑගැහුවා, “ආන්ටි! හමුදාව ඔයාගේ බෑග් එකෙන් සල්ලි ටික ගත්තා. ” කියලා. මම ආපහු හැරිලා බලනකොට හමුදා නිලධාරියා සල්ලියි රත්තරන් මාලයයි එයාගේ සාක්කුවට දාගන්නවා මම දැක්කා. මගේ සහෝදරියගේ මහත්තයා දන්න සිංහලෙන්, “මාත්තියා! සල්ලි, සල්ලි” කියලා හමුදා නිලධාරියාගෙන් ඒ ගැන අහනකොට හමුදා නිලධාරියා මගේ මස්සිනාට ගහන්න  තුවක්කුව ඉස්සුවා. බය නිසා සල්ලි ගැන මුකුත් අහන්නේ නැතුව ඉන්න මම තීරණය කළා. ඒ වගේ සෝදිසි කිරීම්වලදී හමුදාව තමන්ගේ සල්ලියි රත්තරන් බඩුයි ගත්තා කියලා ගොඩක් අය කියනවා.

එතැනින් අපිව බස්වලින් ඕමන්තට යැව්වා. එහෙදී ඉස්කෝලයක් ළඟදී ආයේත් අපෙන් ප්‍රශ්න කළා. ප්‍රශ්න කළේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ, එයාලාට උදව් කළ අය, එයාලා එක්ක වැඩ කළ අය කියලා කාණ්ඩ කීපයකට මිනිස්සුන්ව බෙදලා. එල්.ටී.ටී.ඊ. හිටපු සටන්කාමීන්ව තාණ්ඩික්කුලම් පැත්තට ගෙනිච්චා එයාලාගේ පින්තූර ගන්න ඕනේ කියලා. කොහොම වුණත් අපි එහේ හිටිය කාලය තුළ එයාලා ආපහු එනවා අපි දැක්කේ නැහැ. ඕමන්තේ ඉඳන් අපිව බස් එකෙන් රාමනාදන් කඳවුරට යැව්වා. අපි එක අපායකින් බේරුණේ තවත් අපායකට යන්න විතරයි. බෝම්බ පිපිරෙන සද්දේ ඇහුණේ නැහැ. ඒත් සිවිල් මිනිස්සු දහස් ගාණක් ගුලි කරලා එකට ගාල් කරලා තිබුණ එකේ ප්‍රතිවිපාක අපිට ඇත්තටම අමතක කරන්න බැහැ: අපි ඇවිදින කොට මිනිස්සුන්ගේ මළපහ පෑගෙනවා. මේ වගේ දුක් කම්කටොළු විඳිමින් ඉඳලා අන්තිමට 2010 දී අපිට අපේ ගමේ නැවත පදිංචි වෙන්න අවසර ලැබුණා.

ඒ වගේ බිහිසුණු තත්වවලට අපි මුහුණ දීලා අවුරුදු 15ක් ගත වුණත් ඒවා අද වෙනකම්ම අපේ හිත්වල ගැඹුරට කාවැදිලා තියෙනවා. බොහෝ වැඩමුළුවලදී අපෙන් ඉල්ලන්නේ සංහිඳියාවේ නාමයෙන් මේ මතක අමතක කරලා සමාව දෙන්න කියලා. ඒත් අපි දැකපු දේවල්, මරණ, දුක්ඛිත දේවල් ඇත්තටම අපි අමතක කරන්නේ කොහොමද? අපි මැරෙනකම්ම මේ මතක අපේ පස්සෙන් එයි. ඒත් ඒ හැමෝටම යුක්තිය ඉෂ්ඨ වෙන්න ඕනේ. ඒවාට විසඳුම් හොයන්න ඕනේ කියන බලාපොරොත්තුව තමයි මාව සමාජ සේවයේ යෙදෙන්න පොළඹවන්නේ. අපි යුක්තිය ඉෂ්ඨ වෙනවා නොදැක්කත් අපේ දරුවන්ට යුක්තිය ඉෂ්ඨ වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම දිගින් දිගටම වෙහෙසෙන්නේ.