දිවාකර්ගේ කතාව

මම හැදි වැඩුණේ යුද පසුබිමකයි. මාගේ ළමා විය, පාසල් ජීවිතය යන සියල්ල යුද්ධයට මැදි ව ගත වුණා. මට යමක් තනියෙන් තේරුම් ගැනීමට හැකි වූ කාලයේ සිට දැක්කේ සටන්, බෝම්බ පිපිරීම්, ජීවිතය ආරක්ෂා කරගන්න බංකර් තුළ සැඟවීම් වගේ දේවල්. මේ ජීවිතයේ ලද අත්දැකීම් 2009 වසරේ මැයි මස පැවැති අවසන් යුද්ධයේ දී ජීවිතය බේරාගැනීමට හැකි වුණා. මම උපන් ගමට නිතරම බෝම්බ ප්‍රහාර එල්ල වුණා. අධ්‍යාපනය ලද පාසලට බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාත් තිබුණා. බෝම්බ ප්‍රහාර සිදුවන අවස්ථාවේ දී ජීවිතය ආරක්ෂා කරගන්න ඕනේ කොහොමද කියන පුහුණුව අපිට ඒ දවස්වල හැම පාසලකම කියලා දුන්නා.

පැවැති යුද්ධයේ අත්දැකීම් නිසා ළමයෙක් වූව ද මට හැම බෝම්බයක් තත්ත්වය සහ බරපතලකම ක්ෂණිකව තේරුම් ගැනීමේ හැකියාව ලැබුණා. බෝම්බවලින් නිකුත් වන හඬින්, එය යොමු කිරීමට භාවිත කළ උපකරණය කුමක් දැයි අනුමාන කරන්න පුළුවන් වුණා. බෝම්බය නිකුත් වන්නේ කොහොමද, පොළවට පතිත වෙලා කොහොමද පිපිරෙන්නේ සහ ඒකෙන් පරිසරයටත්, ජනතාවටත් ඇති කරන්නේ මොන වගේ විනාශයක් ද, බෝම්බයේ තත්ත්වය අනුව කොහොමද අපේ ජීවිත බේරගන්න ඕනේ කොහොමද කියලා අපේ ගමේ හිටිය සාමාන්‍ය ජනතාවගෙන් හැම කෙනෙක් වගේ ම  දැනගෙන හිටියා. අවසන් යුද සමයේ දී අප සිටින ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ලංකා රජය අහසින්, මුහුදින් සහ ගොඩ බිමෙන් වට කරලා හතර දිසාවෙන් ම විවිධ නවීණ ක්‍රමයන් භාවිත කරමින් පොකුරු බෝම්බ, 05-ජී වර්ගයේ මෝටාර් බෝම්බ, රසායනික බෝම්බ යනුවෙන් විවිධ ප්‍රහාර අපව ඉලක්ක කරගෙන එල්ල කළා.

අවසන් යුද සමයේ සිදු කළ පොකුරු බෝම්බ ප්‍රහාරවලින් දහස් ගණන් ජනතාව ඝාතනය කෙරුණා. පොකුරු බෝම්බයක් අහසේ දී පිපිරි තවත් බෝම්බ 100 ක් විතර පොළවට පතිත කරන නිසා ඒවාට සිය දෙනෙකු පමණ බිලි ගැනීමේ හැකියාව තිබුණා. සිව් දෙසින් ම මෙවැනි බෝම්බ ප්‍රහාරයන් ශ්‍රී ලංකා රජය එල්ල කරද්දී, මුහුදේ තිබු ඩෝරා යාත්‍රාවෙන් බෝම්බ ප්‍රහාර එල්ල කළා. ඒ වගේ ම මුහුදේ ඉදන් ජනතාව ඉලක්ක කරමින් කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ල කළා. මේවා ඇස්වලට නොපෙනන කුඩා බෝල වගේ හැඩයක් ගන්නවා. කාලතුවක්කුවෙන් නිකුත් වෙලා ඕනෑම වස්තුවක ගැටුණ වහාම පිපිරීමේ හැකියාව මේවාට තිබුණා. මෙම ප්‍රහාර දහවල් කාලයේ දී එල්ල කළ අතර ඉන් කිසිදු හඬක් හෝ එළියක් නිකුත් වුණේ නැහැ. මේ නිසා දහවල් කාලයේ දී බොහෝ අය නාමින් සිටියදී සහ මළපහ කරමින් සිටිය දී මෙම ප්‍රහාරවලට ලක් වී මිය ගියා.

මේවා බරපතල තුවාල ඇති කළත් ගිනි ගැනීම් වැනි පිළිස්සුණු තුවාල ඇති කරන්නේ නැහැ. ඒ වගේ ම ගිනි ගන්න පුළුවන් දෙයක් මතට වැටුණොතින් මිස තනිව ගිනි ගැනීමේ හැකියාවක් ද තිබුණේ නැහැ. අවසන් යුද්ධයේ දී අප සිටි ප්‍රදේශ ඉලක්ක කරගනිමින් එල්ල කළ එක බෝම්බයක් තිබුණා, ඒවා පොළවට වැටුණාම අප අසල ඉන්න කෙනෙක්ව දැකගන්න බැරි තරමට දුමාරයක් ඇති වෙනවා. බෝම්බ වැටි පිපිරුණ තැන් අසල හිටිය අයට තුවාල ඇති කළ අතර, බොහෝ අය ඒ දුම හුස්ම ගත්ත නිසා මැරුණා. මට අදටත් මතකයි, මමත් මගේ පවුලේ අයත් අවතැන්වෙලා හිටපු වෙලාවේ, බෝම්බ පිපිරීමෙන් ඇති වුණ දුමෙන් සහ රාසායනික සුවඳින් දැඩි ලෙස රෝගී වුණ එයාගේ බිරිඳ රෝහලේ ඉන්න නිසා දරුවාව බලාගන්න කවුරුත් නැහැ කියලා ඒ දරුවා ව අපිට ටික දවසක් බලාගන්න කියලත් දීලා ගියා. ඒ බෝම්බ ප්‍රහාරයේ බලපෑමෙන් ඒ දරුවාගේ හම රතු පාට වෙන්න පිච්චිලා තිබුණා. මේක වස එහෙම නැත්නම් රසායනික ප්‍රතික්‍රියාවක් කියලා අපි හිතුවා. දැක්ක දේවල් සහ අත්විඳපු දේවල් අපි විතරයි දන්නේ. අපිට විරුද්ධව මොනවා භාවිත කළේ, අපි මොකෙන් ද බලපෑමට ලක් වුණේ කියලා අදටත් දන්නේ නැහැ.

මගේ තාත්තා 2009 වසරේ පෙබරිවාරි මාසයේ දී වගේ ෂෙල් ප්‍රහාරයක් වැදිලා රෝහලේ ප්‍රතිකාර ගනිද්දී, මමත් එයා එක්ක හිටියා. ඒ දවස්වල රෝහලක් විදිහට පවත්වගෙන ගියේ, පුදුමාතලන් ප්‍රදේශයේ තිබුණ පාසලක්. එහි දී තමා මම අවසන් යුද්ධයේ උග්‍ර තත්ත්වය හොඳින් ම දැක්කේ. තුවාල වුණ බොහෝ මහජනයා රෝහලේ නතර වී සිටියා. අවශ්‍ය ප්‍රමාණයට බෙහෙත් නැතිව, නවාතැන් පහසුකම් නැතිව ගොඩාක් දුක් විඳිමින් මිනිසුන් ගස් යට පවා හිටියා. සැත්කම් පවා ගස් යට සිදු කළා.

2008 වසරේ නොවැම්බර් මාසයෙන් පස්සේ ලංකා රජය අපගේ ප්‍රදේශයට බෙහෙත් එවන එක නතර කරලා තිබුණ නිසා අවසන් යුද්ධයේ දී තුවාල ලබන ජනතාව නිසි ප්‍රතිකාර නැතිව ගොඩාක් අපහසුතාවලට මුහුණ දුන්නා. තුවාල වුණ අයව ත්‍රිකුණාමලය රෝහලට අරගෙන යන්න තිබුණේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ යාත්‍රා විතරයි. එයාලා මේ දෙය කරමින් ඉද්දී පවා ඒ යාත්‍රව අසලට හමුදාව බෝම්බ එල්ල කළ නිසා තුවාල වීම් සහ මරණ සිදු වුණ නිසා රතු කුරුස සංවිධානයත් 2009 වසරේ පෙබරවාරි මාසයේ දී සේවාවෙන් ඉවත් වුණා.

මහජනයා නවාතැන් ගෙන සිටි ස්ථාන ඉලක්ක කරමින් හමුදාව ප්‍රහාර එල්ල කළා. රෝහල් කියලා දැනගෙනත් මහජනයා ප්‍රතිකාර සඳහා නවාතැන් ගෙන සිටි රෝහලට හමුදාව බෝම්බ හෙළුවා. එයාලා සතුව නවීන තාක්ෂණය තිබුණ නිසා ඩ්‍රෝන කැමරාවලින් සහ දස දහසක් සහ විසි දහසක් වෝල්ට් සහිත අධිබලැති විදුලි බුබුළු දල්වා අප සිටි ප්‍රදේශ නිරීක්ෂණය කරමින් රෝහල්වලට ප්‍රහාර එල්ල කළා. රෝහල් සහ පාසල් වහල මත ඒවායේ සලකුණු තබා තිබුණත් ප්‍රහාරවලින් බේරෙන්න බැරි වුණා.

තුවාල වූ තාත්තා සමඟ මම සිටි පුදුමාතලන් රෝහලේ සිට මීටර් 600 ක් හෝ 800 ක් දුරින් හමුදා කඳවුරක් තිබුණා. හමුදාව දුරදක්නයකින් රෝහල නිරීක්ෂණය කරමින් සහ ශබ්ද විකාශන යන්ත්‍රවලින් ඇවිත් භාර වන ලෙසට සිදු කරන දැනුම් දීම රෝහලේ සිටි අපිටත් ඇහුණා. ඒ තරම් ළඟින් පිහිටා තිබුණ රෝහලේ නවාතැන් ගෙන සිටි ජනයා ඉලක්ක කරමින් හමුදාව ෂෙල් ප්‍රහාර එල්ල කරපු නිසා එහි සිටි ජනයා තුවාල ලබා මිය ගියා.

මේ විතරක් නෙවෙයි. බංකරයේ ආරක්ෂාව තබා තිබූ වැලි කොට්ට වැටි හුස්ම හිර වෙලාත් ජනයා මිය ගියා. අවසන් යුද්ධ සමයේ ජනතාව දිගින් දිගටම අවතැන් වූ නිසා එයාලා ගිහින් නතර වන තැන්වල බංකර් කපාගෙන තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නා තැනට පත් වුණා. මාතලන්, වලෛඥර්මඩම්, මුල්ලිවායික්කාල් වගේ මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශ බංකර් කපන්න සුදුසු නැහැ. මේ නිසා කාන්තාවන් අඳින සාරි අරන් ඒවා උර විදිහට මහලා ඒවාට වැලි පුරවලා ඒවා පොළව උඩින් තියලා ජීවිතය ආරක්ෂා කරගන්න බැලුවත්, ආරක්ෂාකරි නැති ඒ වැලි මිටි උඩට පොඩි ෂෙල් කෑල්ලක් වැටුණත් ඒ මිටි බිමට වැටුණා. ඒවාට හිර වෙලත් බොහෝ අය මිය ගියා.

මැයි 16 සහ 17 යන දිනවල මුල්ලිවායික්කාල් සිට වට්ටුවාකල් දක්වා අවතැන් වූ ජනතාව පාර පිරෙන්න හිටියා. එයාලා හමුදාවට භාර වෙන්න හිතාගෙන හමුදා පාලන ප්‍රදේශයට ගමන් කරමින් හිටියා. ජනතාව භාර වෙන ආපු වෙලාවේ හමුදාව මහත කොට්ටං ලී තබාගෙන සතුන්ට වගේ අපට සලකපු විදිහ මගේ ජනයාගේ මතකයේ තවමත් රැඳි තිබෙනවා. අපි පාරේ ඇවිදගෙන යද්දී කොට්ටං පොලුවලින් පහර දීලා පාරේ වාඩිවෙන්න කියලා අණ කළා. විරුද්ධ පාර්ශවයෙන් එල්ල වන ප්‍රහාරවලින් බේරීමට හමුදාව අපට විනාඩියකට සැරයක් වාඩිවෙලා නැගිටින්න කියලා අණ කළා.

අවසානයේ දී අප භාර වන විට අනෙක් පැත්තෙන් හමුදා නිලධාරින් 250 හෝ 300 ක් විතර ආවා. නිල ඇඳුම් සහ හැසිරීම් එක්ක බලද්දී එයාලා උසස් නිලධාරින් විදිහටයි පෙනුණේ. හවස හතරට විතර වට්ටුවාකල් මුහුද එතර වෙලා අපි යද්දී අක්කර පහක එළිමහන් තැනක යම් උසකට කටු කම්බිවලින් වට කළ තැනක් සූදානම් කරලා තිබුණා. ඒක ඇතුළට සතුන් ගාල් කරනවා වගේ මැයි මස 16 වැනිදා ඉඳලා 18 වැනිදා දක්වා හිර කරලා තිබ්බා. දැන් ඒ ස්ථානයේ තියෙන්නේ මුලතීව් අධිකරණයයි.

පානීය ජලය, ආහාර සහ වැසිකිළි පහසුකම් වැනි මූලික පහසුකම් මොකුත් නැතිව එතැන දවස් තුනක් අපි ව වහලුන් වගේ හිර කරලා තිබ්බා. පිපාසය දරාගන්න බැරිව වතුර ඉල්ලුවාම හමුදාව බැකෝ යන්ත්‍රයකින් වලක් හාරලා එකෙන් ආපු මඩ වතුර බොන්න කියලා අණ කළා. බඩගින්නේ හිටිය ජනයා ඒ මඩ වතුර බීලා තිබහා අඩු කරගත්තා.

අපිව හිර කරලා තියාගෙන හිටිය මැයි 16, 17 සහ 18 යන දවස් තුනේ හමුදාව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටිය අයට ඇවිත් භාර වෙන්න කියලා අණ කළා. 18 වැනිදා රාත්‍රි 7.30ත් 8.00ත් අතර දී මහජනයා අතර සිටි එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි අයවත් මහජනයාවත් හමුදා හවුල්කරුවන් මාර්ගයෙන් වෙන් කරලා හඳුනාගත්තා. කළු රෙදි කෑල්ලකින් මුහුණ ආවරණය කරගත් 50 දෙනෙක් විතර මෙම කටයුත්තට හමුදාවට සහාය වුණා.

ඊට පස්සේ අපිව දිග පෝළිමක ඉන්න කියලා කුඩා මුර කුටි 150 ක් පමණ ඇති කරලා හමුදා මහජනයාව පරීක්ෂා කරන්න පටන් ගත්තා. ඇඳුම් සේරම ගලවා අපිව නිරුවත් කරලා, අප සතුව තිබුණ සියලු භාණ්ඩ සම්පූර්ණයෙන් ම පරීක්ෂාවට ලක් කළා. ඊට පස්සේ අපිව අභ්‍යන්තර අවතැන් වූවන්ගේ රැඳවුම් කඳවුරට පිටත් කරන්න බස් රථවලට නංවාගත්තා. ශරීර පරීක්ෂාව සිදු කිරීමට ගැහැනු පිරිමි භේදයක් නැතිව පිරිමි හමුදා නිලධාරින් ම කාන්තාවන්වත් පරීක්ෂාවට ලක් කළා. පරීක්ෂා කරන විට ජනතාව සතුව තිබුණ මුදල්, වටිනා දේවල්, රන් ආභරණ වගේ දේවල් සමහර හමුදා නිලධාරීන් උදුරාගෙන තිබුණා. මේ ගැන කියමින් ජනතාව වැළපෙන හඬ බස් රථය පැමිණෙනතුරු හිටගෙන හිටිය මට ඇහුණා.

මේ වගේ දැඩි පරීක්ෂා කිරීම්වලින් පසුව රාත්‍රියේ අපව බසය නංවා ගෙන එළිවුණාම උදේ 8 න් පස්සේ ඕමන්තේ දී බස් එකෙන් බැස්සුවා. එහි දී නැවත තවත් දිගු පෝළිමක තබා පරීක්ෂා කිරීම්, ප්‍රශ්න කිරීම් ආරම්භ කළා. දැඩි අව්වේ අපි වතුර හා ආහාර නොමැතිව කුසගින්නෙන් සහ පිපාසයෙන් පීඩා වින්ඳා. ඒ වෙලාවේ ජනයා පෝළිමෙන් ඉවත් වුණා ම හමුදාවේ අය ලොකු පොල්ලකින් අපිට පහර දුන්නා. මහළු, දරුවන්, ගැබිණි කාන්තාවන් යනුවෙන් බොහෝ අය මේ විදිහට පීඩාවට පත් වෙමින් සිටිය දී සවස 6.00ට පමණක් බසයක නංවාගෙන සෙට්ටිකුලම් අභ්‍යන්තර අවතැන් වූවන්ගේ රැඳවුම් කඳවුරට රාත්‍රී 12.00ට පමණ ඇරලුවා. මන්නාරමටත් වව්නියාවටත් අතරමැදි ප්‍රදේශයක, කැලෑවක් හෙළි කරලා කිසිදු මුලික පහසුකම් නැති තැනක කූඩාරම් හදලා පවුල් දෙකකට එක් කූඩාරමක් බැගින් දී, සෙට්ටිකුලම් අභ්‍යන්තර අවතැන් වූවන් රැඳවුම් කඳවුර යනුවෙන් නම් කළ කඳවුරක අපිව රඳවා ගත්තා.

එම ස්ථානයේ ප්‍රමාණවත් පරිදි වතුර, ආහාර, වැසිකිළි, ඖෂධ යන කිසිදු පහසුකමක් මාස එකහාමාරක් වැනි කාලයකට ලැබුණේ නැහැ. මාස එකහාමාරකට පස්සේ ජාත්‍යන්තර සුබසාධන සංවිධානවලට අවසර ලැබීමත් සමඟ ඔවුන්ගේ මාර්ගයෙන් ජලය, ආහාර, වැසිකිළි සහ ඖෂධ යම් ප්‍රමාණයක් ලැබුණ ද එය ප්‍රමාණවත් වුණේ නැහැ. ජනතාවට කඳවුරෙන් පිටතට යාමට අවසර නොදුන් නිසා ජනතාවට ඖෂධ ලබා ගැනීමට කාලයක් බලා සිටීමට සිදු වුණා වගේ ම ජනතාව මිය යාමේ සිද්ධි ද වාර්තා වුණා.

අවසන් යුද්ධයේ දී ආහාර නැතිව, වතුර නැතිව, බෙහෙත් නැතිව, රාසයනික දුම හුස්ම ගැනීමෙන් ජීවිතය බේරගෙන පැමිණි ජනයා අභ්‍යන්තර අවතැන් වූවන්ගේ රැඳවුම් කඳවුරුවල රෝගී වී බෙහෙත් නැතිව මිය ගියා. මගේ යාළුවෙකුත් මේ කඳවුරේ දී ලෙඩ වෙලා මිය ගියා. උග්‍ර යුද්ධයෙන් ජීවිතය බේරාගත් තම පුතා කඳවුරේ දී මිය ගිය එක ගැන හිතලා ඔහුගේ දෙමාපියන් ගොඩාක් දුක් වුණා.

2009 වසරේ මැයි මාසයේ සිට අභ්‍යන්තර අවතැන් වූවන්ගේ රැඳවුම් කඳවුරුවල නොයෙකුත් කරදර මැද ජීවත් වූ අපව 2011 වසරේ අප්‍රේල් මාසයේ දී නැවත පදිංචි කළා. අපි නැවත ගමට ගියා ම, ලංකා රජය අපගේ ජීවිතය, අපගේ ඥාතීන්ගේ ජීවිතය විතරක් නෙවෙයි නැවත ගොඩනගා ගන්න බැරි ලෙසට අපගේ ආර්ථිකය ද විනාශ කරලා. අපගේ නිවාස, ධනය උපයාගත් වතුපිටි සහ කුඹුරු, ගස් යනුවෙන් සියල්ල විනාශ කරලා තිබ්බා.

ජනයාගේ ජීවිතය, ආදායම් මාර්ග ලංකා රජය විසින් විනාශ කරලා තිබුණ ද, හමුදාව එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ සොහොන් විනාශ කර ඇති අයුරු දැක හඬා වැළපුණා. යුද්ධයේ දී අපේ ඥාතීන් අහිමි කරගත්තාත්, ඔවුන් සියලු දෙනා තවමත් අප සමඟ සිටින බවට විශ්වාස කරමින් තමන් පවුලේ විශේෂ උත්සවල දී බොහෝදුර ඇති සොහොන වෙත ගොස් ගෞරවය දැක්වීමෙන් සිත තෘප්තිමත් කරගැනීමට මේ අය පුරුදු වී සිටියා. සෑම මහවිරුවන් සැමරුම් දිනයට ම සොහොනට ගොස් එම තැන් සුද්ධ පවිත්‍ර කර, මල් මාල දමා, පහන් පත්තු කර, පොංගල් බත් පිළිගන්වා එම ස්ථානය කෝවිලක් ලෙස සිතා තම ඥාතීන් වෙනුවෙන් නිදහසේ සිහි කරනවා.

දැන් තමන්ගේ ඥාතීන් සිහි කරන්නවත් නිදහසක් නැතිව බුද්ධි අංශයේ නිරීක්ෂණවලට සහ මර්දනයට ලක් වෙනවා. යුද්ධය අවසන් වෙලා තිබුණත් ලංකා රජයේ මර්දනය අපගේ ප්‍රදේශවල දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. යුද්ධයෙන් පසුවත් හමුදාව අපගේ ප්‍රදේශවලින් ඉවත් වෙලා නැහැ. එම ප්‍රදේශයේ හමුදාව ආදයම් ඉපයීමේ මාර්ගවල නියැලෙමින් ඉන්නවා. වගාවන් කරමින්, කඩ කරමින් ජනතාව සමඟ යහපත් සබඳතාවක් ඇති කරගැනීමට උත්සහ කළත් ජනතාව තුළ විශ්වාසයක් ඇති වෙලා නැහැ. යහපත් සබඳතා ඇති කරගන්න කියලා මළ ගෙවල්වලට හමුදාව ආවත්, රජය විවිධ ආකාරයෙන් ඊනියා සංහිඳියාව ඇති කරන්න  උත්සහා කළත් ජනතාව ඒවා භාරගන්න සූදානම් නැහැ.

මම යුද්ධය පැවැති කාලයේ දී ජීවත් වී බොහෝ බිහිසුණු අවසන් යුද්ධයට මුහුණ දුන් පසු මට ජීවිතයේ ඕනෑම අර්බුදකාරි වාතාවරණයකින් ගොඩ එන්න පුළුවන් කියන මානසිකත්වයක් තිබෙනවා. සමහර අවස්ථාවල මෙම ධෛර්යය විශ්වාසයක් ඇති කරන බවට හැඟුණත්, ඒවා යුද තත්ත්වයේ දැඩි මානසික පීඩාවන් ඇති කරනවා.

මේ වනවිට සන්නද්ධ අරගලය නිමාවට පත් වී තිබුණත් අපගේ ප්‍රදේශයේ ශබ්දයක් නැති සටනක් විදිහට ඉඩම් අත්පත් කරගැනීම සිදු වෙනවා. ඒවාට  එරෙහිව මාගේ විරුද්ධත්වය හැකි පරිදි පෙන්වීම තුළින් මා අහිමි කරගත් දේ නැවත ලබා ගන්නා ආකාරයේ තෘප්තියක්, මාගේ යුද කාලයේ අහිමි වීම් එක්ක කරන ගනුදෙනුවක් විදිහට මගේ ජීවිතය ඉදිරියට අරන් යන්න උපකාරි වෙනවා.