එස්තර්ගේ කතාව

මාගේ වයස අවුරුදු තිහකි. උපතේ සිට පුදුකුඩිඉරිප්පු හි පදිංචි ව සිටිමි. සහෝදරියන් දෙදෙනාත් අයියාත් විවාහ වී වෙන් ව ජීවත් වෙති. මම පියා සහ මව සමඟ සිටිමි. යාපනය වැනි ප්‍රදේශවල සටන් සිදු වූ බව අසා ඇත්තෙමි. එහෙත් සටන් මාගේ දෑසින් දැක තිබුණේ නැත. 2006 වසරේ දී ප්‍රථම වතාවට යුද්ධයට මුහුණ දීමට සිදු වූ අතර එය මගේ ජීවිතය සම්පූර්ණයෙන් ම වෙනස් අතකට හැරවීය. 2007 වසරට පසුව යුද්ධය ගැනත් එහි භයානකත්වයත් අත්විඳින විට මාගේ වයස අවුරුදු 14 කි.

2009 වසරේ දී 10 ශ්‍රේණිය සමත් වී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හැදෑරීමට ආරම්භ කළ යුතුව තිබුණි. එහෙත් ජනවාරි මාසයේ දී සටන් ඇති විය. අපගේ අසල්වාසීන් දේවපුරම් නමැති ග්‍රාමයට අවතැන් වූ අතර අප ආනන්දපුරම් හි පිහිටා තිබූ අපගේ ආච්චිගේ නිවසට ගියෙමු. මාර්තු මාසයේ දී ආනන්දපුරම්වල කුඩා භූමියක අටවාගෙන තිබූ කූඩාරම් විවිධ ප්‍රදේශවලින් අවතැන්ව පැමිණි අයගෙන් පිරී තිබුණි. පොකුරු බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වූයේ ද එම කාලයේ දී ය. අපගේ ඉඩමට ඉදිරියේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කඳවුරක් තිබුණි. එහි අප හඳුනන සාමාජිකයන් එහි ආරක්ෂාවට සිටියහ. බෝම්බ හඬ ඇසුණු විගස අපි බංකර තුළට ගොස් සැඟවුණෙමු. එම කාලයේ දී ඒවා පොකුරු බෝම්බ යැයි දැන සිටියේ නැත. එහෙත් බෝම්බ වැටී ඒවා පිපිරීමෙන් ඉන් පිටතට පැමිණි  තවත් බෝම්බ පිපිරෙන අයුරු දුටුවෙමු. බෝම්බවලට හසු වී ගිනි ගත් ශරීරය සමඟ එහෙ මෙහෙ දිව යන පුද්ගලයෙක් දුටුවෙමු. මේ දක්වා කෙනෙකු මිය යන අයුරු නොදුටු මට මෙය දරාගැනීමට අපහසු විය. පසුදින පිටතට පැමිණි අපට පොකුරු බෝම්බ ප්‍රහාරවලින් නිවාස සහ ඒ අවට තිබූ ගස් ගිනි ගෙන විනාශ වී තිබුණ අයුරු දැක ගත හැකි විය.

අපගේ නිවසේ ජේසුස් වහන්සේගේ සුරුවමක් තිබුණි. මෙම බෝම්බ ප්‍රහාරය සිදු වීමට පෙර දිනයේ එය බිමට වැටි හිස කැඩුණි. මෙය දුටු මාගේ මව මින් මතුව මෙහි සිටීම නුසුදුසු යැයි පැවසුවා ය. අප සිටි නිවස ආසන්නයේ කොටි සංවිධානයේ  ළමා පරිවාස මධ්‍යස්ථානයක් පිහිටා තිබීමත් නිසා එය ඉලක්ක කර ප්‍රහාරය එල්ල වනු ඇති බවට හැඟුණ බැවිනුත් අතට හසු වූ දෑ රැගෙන ජනතාව සමඟ වලෛඥර්මඩමට පැමිණියෙමු. මගේ අක්කාට වයස අවුරුද්දකට අඩු දරුවෙක් සිටි බැවින් අප වෙනත් ස්ථානයක යාමට තීරණය කළෙමු. අපි එම ස්ථානයෙන් පිටත් වී මාතලන් නමැති ස්ථානයට පැමිණියෙමු.

අප සිටි ස්ථානයේ මීට පෙර තිබූ පෙර පාසලක් තාවකාලික රෝහලක් ලෙස වෙනස් කර තුවාල වූවන්ට ප්‍රතිකාර ලබා දීම සිදු විය. මව සහ පිය අප සතුව තිබූ සාරි තීරුවලට ඉරා වෙළුම් පටි ලෙස භාවිත කරමින් තුවාලවලට බෙහෙත් දැමීමට උදව් කළහ. මෙසේ තිබිය දී ස්නානය කිරීම සහ වැසිකිළියට යාම යනු ඉතා දුෂ්කර කාර්යයක් විය. මේ නිසා අප දින ගණන් ස්නානය නොකර සිටියෙමු. දෙපාර්ශවය අතර පැවැති සටන ද අප සිටි ප්‍රදේශයට ළං වෙමින් තිබුණි. ආහාරයට කිසිවක් නොමැති විය. මේ කාලයේ දී අපගේ සීයා ද මිය ගියේ ය. ඔහුව වලෛඥර්මඩමේ මිහිදන් කර ජීවිත ආරක්ෂා කරගැනීමට තැනින් තැනට අවතැන් වුණෙමු. අපි මෙලෙස යුද බිමකට කොටු වුණෙමු. අපිට ඉදිරියට යාමට හෝ ආපසු හැරීමට අවකාශයක් නොවිය. එම නිසා ලැබුණ දෙයක් ආහාරයට ගනිමින් දිගින් දිගටම අවතැන් වී අවසානයේ දී මුල්ලිවායික්කාල් වෙත පැමිණියෙමු.

මුල්ලිවායික්කාල් හි ප්‍රථමයෙන් එක් කූඩාරමක සිටියෙමු. එම භූමියේ දී බංකරයක් නිර්මාණය කිරීම යනු පහසු කරුණක් නොවීය.  එම නිසා වෙනත් අයෙකු ලවා බංකරය කැපීමට අප තීරණය කළෙමු. එය කටුඅකුල්වලින් පිරුණ පර්වත සහිත ප්‍රදේශයක් වූ බැවින් සෙරෙප්පු නොමැතිව ඇවිදීම ද දුෂ්කර කාර්යයක් විය. එහි බංකරයක් කැපීම ද ඉතා වෙහෙසකර ය. බංකරය කැපීමට පැමිණි පිරිස වැටපු වෙනුවට ආහාර ලබා දෙන ලෙසට ඉල්ලූහ.

සාමාන්‍යයෙන් බත් පිස, එහි කැඳ උදෑසන ආහාරය ලෙස ගෙන බත් සමඟ වියළි මිරිස් බැද හෝ මද ගින්නෙන් රත් කර අනුභව කළෙමු. කුලිකරුවන්ට ලබා දුන්නේ ද ඒවායි. මෙම කාලයේ දී ‘මුල්ලිවායික්කාල් කංජී’ දීම ආරම්භ කළහ. දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල වෙමින් තිබු නිසා පිරිමින් පමණක් පිටතට ගොස් කංජි රැගෙන ආවොත් එය අනුභව කළ හැක. පිටතට ගියෝතින් බෝම්බවලට හා මිසයිල අංශුවලට මැදි වී අනතුරක් සිදු වනු ඇතැයි සිතා මට නිතරම බංකරය තුළට වී සිටින ලෙසට අවවාද කළහ. ජලය ලබා ගැනීම සඳහා දුරක පිහිටා තිබූ ළිඳක් වෙත යා යුතුයි. මිසයිල ප්‍රහාරයන් එල්ල වූ බැවින් නිතරම ජලය ලබා ගැනීම සඳහා යාමට නොහැක. අපගේ ඥාතීයෙකු ඉස්සන් ඇල්ලීම සඳහා මුහුදු වෙරළට යන්නේ ය. දිනක් ඔහු එහි ගොස් සිටි අවස්ථාවක එල්ල වූ මිසයිල ප්‍රහාරයකට හසු වී එම ස්ථානයේ ම මිය ගියේ ය.

මම බංකරය තුළ ජේසුස් වහන්සේගේ සහ මරිය මව්තුමියගේ පින්තූර තබා නිතරම යාච්ඤා කළෙමි. යාච්ඤාව අවසන් වනවිට බෝම්බ පිපිරෙන හඬ නතර වනු ඇත. යාච්ඤාවෙන් එය නතර නොවුණත් ඉන් එය සිදු වනු ඇතැයි මම විශ්වාස කළෙමි. එදින ‘අගල් 5 ක ෂෙල්’ උණ්ඩයක් අපි සිටි බංකරයට පිටුපසින් තිබූ තවත් බංකරයක වැටී පිපිරීමෙන් එහි සිටි එක් අයෙකු මිය ගියේ ය. එදින දැඩි හිරු රෂ්මියක් දැනුණ නිසා බොහෝ අය රෝගී වී පාචනයෙන් පීඩා වින්ඳහ. වැසිකිළියට යාමට නන්දිකඩාල් වෙරළ වෙත යා යුතු අතර ඒ අවට දිගින් දිගටම මිසයිල ප්‍රහාරයන් එල්ල වෙමින් තිබුණි. ඒවා පසුකර එහි යාම ඉතා භයානක කරුණක් විය. සවස්වරුව වන විට ප්‍රහාරයන් උග්‍ර විය.

16 වැනිදා බංකරයෙන් මදක් පිටතට යාමේ අරමුණින්, අක්කාගේ අවුරුද්දක් වයසැති බිළිඳාට ඇඳුම් අන්ඳවා බලා සිටියෙමි. දැඩි හිරු රශ්මිය නිසා දහවල් කාලයේ බංකරයේ තුළ සිටිය නොහැකිය. එහෙත් වෙන කිසිවක් කිරීමට නොමැතිව අක්කාගේ දරුවාට අවට දේවල් පෙන්වමින් සිටියෙමි. සවස 4.30 ත් 5 ත් අතර බංකරයේ කට අසලට අක්කා පැමිණ සිටියා ය. ඇයව දුටු දරුවා ඇය ළඟට යාමට උත්සහ කරන සෑම අවස්ථාවක මම කකුල අල්ලා ඒ ගමන නතර කිරීමට උත්සහා කළෙමි.

නමුත් දරුවා කෙසේ හෝ මගේ දෑත්වලින් මිදී මා අල්ලා සිටි යට ඇඳුම පමණක් මා වෙත ඉතුරු කර අම්මා වෙත පැන ගියේ ය. කිසිදු ශබ්දයක් නොමැති බැවින් මම බංකරය තුළට වී සිටියෙමි. සුළු වෙලාවකින් මගේ අම්මාගේ අඳෝනා හඬ ඇසුණි. මම බංකරයෙන් පිටත බැලූ අවස්ථාවේ දී දරුවා අතින් ගෙන සිටි මව ව දුටුවෙමි. මව දරුවා ව සෙලෙව්ව ද කිසිදු ප්‍රතිචාරයක් නොතිබුණි. මිසයිල අංශුවක් දරුවාගේ හිසට වැදී තිබුණි. එහෙත් එය පිටතට පැමිණ තිබුණේ නැත. මවගේ මුහුණටත් මිසයිල අංශු කිහිපයක් වැදි රුධිරය ගලමින් තිබුණි. එය දුටු විට මා හට කුරුසයේ දිවි පිදු ජේසුස් වහන්සේගේ මුහුණ සිහිපත් විය. මිසයිල සියුම් කැබලි මවගේ මුවෙහි සම පසාරු කරගෙන ගොස් තිබු ආකාරය දැකගත හැකි විය.

මා හට කුමක් ද සිදුවෙන්නේ කියා කිසිවක් වැටහුණේ නැත. කම්පනය හේතුවෙන් ඇඬීමටත් නොහැකි විය. ඥාතීන් කිහිප දෙනෙකු මිය ගොස් සහ තුවාල ලබා ඇති බව මා දැනගත්තේ බංකරයෙන් පිටතට පැමිණි පසුවයි. ඉන් අනතුරුව මම අක්කා දෙස බැලුවෙමි. ඇයගේ හිස තුවාල වී තිබුණි. ඇඳ සිටි ඇඳුමෙහි පිට ඉරි ගණනය කළ නොහැකි මිසයිල අංශූ ඇයගේ පිට පසාරු කර තිබූ ආකාරය දැකගත හැකි විය. ඇය සිහිසුන්ව සිටියා ය. දරුවා මිය ගිය විත්තිය ඇය එකවර දැනගත්තේ නැත. අසල තිබූ කුඩාරමකට කැටුව ගොස් අක්කාට බෙහෙත් දැමුවෙමු. හෙදියක ලෙස සේවය කළ අයෙකු අක්කාගේ හිස කෙස් කපා, තුවාලය පවිත්‍ර කර සනීපාරක්ෂක තුවායක් තබා රුධිර ගැලීම පාලනය කිරීමට උත්සහ කළා ය. මිසයිල අංශු වැදි පිට සිදුරු වී තිබුණි.

එදින රාත්‍රියේ බොහෝ අය එම ස්ථානයේ පිටත් වීම ආරම්භ කළහ. කාලය ගත වීමත් සමඟ දරුවාගේ ශරීරයේ පැහැය වෙනස් වූ බැවින් බෞතිස්ම කළ දිනයේ දරුවා ඇඳ සිටි ආශීර්වාදිත ඇඳුම් අන්ඳවා වලක් කපා පස් ඇඟට නොවදින අයුරින් රෙදි කැබැල්ලකින් ඔතා දරුවාව මිහිදන් කළෙමු. දරුවාගේ මරණයෙන් අනතුරුව දෙවියන්ගේ ඇති ඵලය කුමක් දැයි සිතා ජේසුස් වහන්සේගේ සහ මරියතුමියගේ බිඳුණු ඡායාරූප සහ  ද දරුවා සමඟ වල දැමුවෙමු. දරුවා මිහිදන් කිරීමෙන් අනතුරුව අපි එකිනෙකා වැළඳගෙන අඬා එම ස්ථානයෙන් පිටත් වුණෙමු.

ඇවිදීමට නොහැකිව සිටි අක්කාව යතුරු පැදියක අසුන් ගන්නවා. අප එය තල්ලු කරමින් ගියෙමු. තුවාල ලබා මරණාසන්නයේ මඟ රැඳි සිටි බොහෝ අය තමන් ව අතහැර දමා යන ඉල්ලූහ. කිසිවක් කළ නොහැකි තත්ත්වයක පණ පිටින් සිටි ඔවුන් ව අතහැර දමා පළා යාමට සිදු විය. ප්‍රධාන මාර්ගය දෙපස ගිනි ඇවිලෙමින් තිබුණි. ඉංග්‍රීසි චිත්‍රපටියක මෙන් මාර්ගයේ දෙපස තිබූ වාහන ඇවිලෙමින් තිබූ ආකාරය අදටත් මාගේ මතකයේ රැඳි තිබේ. දිනක පුරා ජලය පානය නොකළ එහෙයින් දැඩි පිපාසයක් දැනුණි. මාර්ගය අයිනේ බාල්දියක තිබූ ජලය කුමක් දැයි නොසිතා එය ගෙන පානය කළෙමි. පානය කරන විට ඉන් දුර්ගන්ධයක් පිටවෙමින් තිබුණි. එය තුවාල සේදු ජලය යැයි මා හට වැටහුණේ ඉන් අනතුරුවයි.

මේ වනවිට අපි සිටි පීඩනය හේතුවෙන් ඉන්නේ කොහෙද, මේක කාගේ පාලනය යටතේ තියෙන ප්‍රදේශයක් ද කියලා දැනගෙන හිටියේ නැහැ. වට්ටුවාකාල් වෙත යන විට කාසි මෙන් මළ සිරුරු සෑම දිශාවකම විසිරි තිබුණි. එම මළ සිරුරු බොහෝ දින ගණනාවක් මෙහි තිබෙන්නට ඇත. එම සිරුරුවල දුහුවිලි වැදී තිබුණි. මිහිදන් කිරීමට කවුරුත් නොමැති වීම හේතුවෙන් බොහෝ දවස් මෙහි තිබෙන්නට ඇත. වට්ටුවාකල් මුහුදේ ද මළ සිරුරු පා වෙමින් තිබුණි. ඒවා පෙගී, සුදුමැලි වී මසුන් මෙන් දිස් විය.

තුවාල ලැබුවන් වාහනවලට නංවමින් සිටියහ. මව බරපතල තුවාල ලබා නොසිටිය ද, අක්කාව තනි කළ නොහැකි බැවින් ඇය ද අක්කා සමඟ වාහනයට ගොඩ වූවා ය. එකල ස්ථාන නම් නොදන්නා බැවින් ඔවුන්ව කොහෙ රැගෙන යනවා ද යන්න දැන සිටියේ නැත. මම, අයියා, තාත්තා සහ තවත් ඥාතීයෙකු වෙනත් වාහනයක නංවාගෙන රැගෙන ගියහ. දිනක් පුරාවට ආහාර නොමැතිව ගමන් කළෙමු. පිපාසය සන්සිඳුවා ගැනීමට අක්කාගේ මිය ගිය දරුවා සඳහා අරන් තිබ්බ ග්‍රයිෆ් වතුර පානය කළෙමු. අතරමඟ වාහන නතර කළ අතර එම ස්ථානයේ තේ කහට වර්ණයට හුරු අපවිත්‍ර ජලය තිබුණි. පිපාසය දරාගැනීමට නොහැකිව බොහෝ අය එය පානය කළහ.

අනතුරුව විශාල මුරපොළක් පසු කිරීමට සිදු විය. එම ස්ථානය පසු කර හමුදා පාලන ප්‍රදේශයට යාමට නම් සියලු ඇඳුම් ගලවා නිරුවතින් හමුදා පරීක්ෂාවට මුහුණ දීමට අපට සිදුවිය. පියා සහ අයියා වෙනත් කූඩාරමක් තුළටත් මම වෙනත් කුඩාරමක් තුළටත් ගියෙමු. එකල මා මෙය ඉතා විශාල කරුණයක් යැයි  තැකුවේ නැත. මම මඩ පැහැති කලිසමක් සහ කමිසයක් ඇඳ සිටියෙමි.

පරීක්ෂා කිරීම් සඳහා ඇඳුම් ගලවා දැමීම විශාල කාරණයක් යැයි මම පියාට සහ අයියාට අඟවා නො සිටියෙමි. එහෙත් මව සහ අක්කා මා සමඟ පැමිණියේ නම් සිතට ධෛර්යයක් වනු ඇතැයි සිතුණි. ඇත්තට ම තනියෙන් එවැනි අවමානයකට මුහුණ දීම ඉතා අපහසු කාර්යයකි. මාගේ වයස අවුරුදු 16 ක් වූ බැවිනුත් සහ මා සිහින් සිරුරකට හිමිකම් කියූ බැවිනුත් මේ සම්බන්ධයෙන් වැඩිය සිතුවේ නැත. මෙම කරුණු දැන් සිහි වනවිට එය ඉතා මෑතක දී සිදු වූවක් ලෙසත් ඊට සෑම දෙනෙකු ම මුහුණ දීමට සිදුවීමත් ඉතා වේදනාකාරි බව තේරුම් ගත හැක.

දිනක් පුරා බසයේ සිට අපිව කලාප අංක 4  වෙත රැගෙන ගියහ. කොහෙදී ද නංවන්නේ, කොහෙද ඇරලවන්නේ කිසිව පැවසුවේ නැත. අතරමග නවතා නූඞ්ලස් බෑග් දෙන ලදි. එය කඩා එවෙලාවේ ම අමුවෙන් අනුභව කළෙමු.

ඉන් අනතුරුව අප ව කඳවුරකට රැගෙන ගියහ. මාසයකට පසුව සබඳතා ඇති කරගැනීමෙන් අනතුරුව අපගෙන් වෙන් වූ දිනවල අම්මා සහ අක්කා පදවිය රෝහලේ සිටි බව දැනගැනීමට හැකි විය. අම්මා අක්කා සමඟ සිටිම හේතුවෙන් ඇයව බලා ගැනීමට හැකිව තිබේ. අක්කා වේදනාව දරා ගැනීමට නොහැකිව දිව යන අවස්ථාවේදීත් සහ දරුවා සිහි වී අඬන අවස්ථාවේදීත් අම්මා ඇයගේ අසළ සිටීම පහසුවක් විය.

යුද්ධයෙන් දිවි බේරාගත් බොහෝ අය කඳවුර තුළ රෝගී වි මිය ගියහ. මාගේ නෑනා කෙනෙකු ද කඳවුරේ සිටිය දී මිය ගියා ය. මම ද රෝගී වී මරණ ආසන්නයට ගොස් බේරුණෙමි. අවසන් යුද සමයේ අනුභව කළ සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාරවල සහ පානය කළ අපවිත්‍ර ජලයේ ප්‍රතිවිපාකවලට කඳවුරේ දී මුහුණ දීමට සිදුවිය.

අක්කාගේ ඉනෙහි මිසයිල අංශු රැඳි තිබීම හේතුවෙන් ඇයට දරුවකු ප්‍රසූත කළ නොහැකි බව පැවසුව ද, කුමක් හෝ වාසනාවකට දරුවෙකු ප්‍රසූත කර ඇය සතුටින් සිටි. මවගේ මුඛය තුළ විශේෂයෙන් ම දත් තුළ රැඳි ඇති මිසලයිල අංශූ හේතුවෙන් දරුණු වේදනාවෙන් පීඩා විඳියි. එහෙත් ඇය ජීවතුන් අතර සිටීම මා හට සැනසීමකි. පියා ද ක්ලේමෝ බෝම්බයක් පිපිරීමෙන් ඇති වූ තුවාලයේ දැඩි වේදනාවකින් පීඩා වින්ඳ ද ඔහු ද ජීවතුන් අතර සිටියි. මාගේ අවට සිටින සෑම අයෙකු ම යුද්ධයෙන් සහ මිසයිල අංශුවලින් බලපෑමට ලක්ව ඇත. මේ වනවිට අක්කාගේ වයස 39 ක් වූව ද ඇයගේ හිසෙහි ඇති වූ තුවාල හේතුවෙන් ඇස් පෙනීම දුර්වල වී තිබේ. අයියාගේ සිරුරේ ඇති මිසයිල අංශු පිටතට ගන්නේ නම් ඔහුගේ අංශභාග තත්ත්වයට පත් වනු ඇත. ඔහුට බොහෝ වේලවක් අව්වෙහි සිටීමට හෝ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට නොහැක.

දේව ආශීර්වාදයෙන් මට කිසිදු තුවාලයක් ඇති වූයේ නැත. එහෙත් මානසිකව වැටී ඇත්තෙමි.  සටන් පැවති සමයේ හැඟීම් ප්‍රකාශ කිරීමට නොහැකි විය. හැඟීම් රහිත අයෙකු ලෙස සිටියෙමි. දරුවා මිය යාමත් සමඟ දෙවියන් කෙරෙහි තැබූ විශ්වාසය අඩු වූවත් මෙවැනි දුෂ්කරතා පසු කර ජීවත් වීමට හැකි වූයේ දේව ආශීර්වාදයෙන් බව දනිමි.

යුද්ධය පැවැති අවස්ථාවේ අප අවතැන් වූ ප්‍රදේශවලට සහ කූඩාරම්වල සිටි ස්ථානවලට ගියෙමි. මම වල දැමූ දෙවියන්ගේ පින්තූර එම ස්ථානයේ තිබුණි. එහෙත්, දරුවාගේ ඇඳුම් හෝ අස්ථි එහි තිබුණේ නැත. එම ස්ථානයේ බොහෝ මළ සිරුරු මිහිදන් කළෙමු. මරණ ආසන්නයේ සිටි බොහෝ අයව එම ස්ථානයේ අතහැර ගියෙමු. එහෙත් කිසිවෙකුගේ අස්ථි හෝ ඔවුන් සිටි බවට වන හෝඩුවාවන් සොයා ගැනීමට නොහැකි විය.

අත්දුටු මෙම අත්දැකීම්වලින් අපගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල විය. ඇතැමුන් මේවා අපගේ ජීවිතවලට දැඩි තර්ජනයක් ඇති නොකළා සේ සිටියත් එහි සත්‍යතාවයක් නොමැත. මෙම අත්දැකීම්වලින් ඉතා පහසුවෙන් මිදීමට නොහැක. තවත් දීර්ඝ කාලයකට මානසික පීඩාවන් සහ පසුකම්පන තත්ත්වයන් අප සමඟ තිබෙනු ඇත. විශාල ශබ්දයක් ඇසුණ ද මා ඊට බියට පත් ව සැඟවෙමි.

මෙම සටන් සිදු වූයේ කුමකටද, කෙසේ ද, කෙසේ අවසන් වූයේ දැයි අපි දනිමු. එහෙත් අපෙන් මතු පරපුර මෙහි ඉතිහාසය සම්පූර්ණයෙන් දන්නේ නැත. යුද්ධය අවසන් වීමෙන් අනතුරුවත් අපට නිදහසින් ජීවත් වීමට අවසර දීම ප්‍රතික්ෂේප කර තිබේ. අපි දිගින් දිගමට හමුදා ග්‍රහණයට ලක් වී සිටිමු. හිටපු සටන්කරුවන් දැඩි නිරීක්ෂණවලට ලක් වෙති. මර්දන ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවෙයි. මේ හේතුවෙන් මර්දනය යුද්ධයට හේතුව යැයි තරුණ පරපුර සිතීම ආරම්භ කර ඇත. යුද්ධය අවසන් වීමෙන් අනතුරුව අපට නිදහසේ ජීවත් වීමට ඉඩ දුන්නේ නම් එය සැනසිලිදායක වනු ඇත.

මම මේ වනවිට රාජ්‍ය නොවන ආයතනයක සේවය කරමි. ඊට අමතරව පෞද්ගලිකව ඇතැම් සමාජ සේවා කටයුතුවල ද නියැලෙමි. බොහෝදුරට කාන්තා අයිතිවාසිකම්, ආගමන සහ ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළන අයට පිහිට වීම යන කරුණු කෙරෙහි අවධානයක් යොමු කරමි. ඒ අතර මාගේ විශේෂ අවධානය යොමු වන්නේ ජීවනෝපය යන කරුණ සම්බන්ධයෙන් ය. අවශ්‍යතා සහිත බොහෝ පිරිස් සිටිති. පිහිට වීමට බොහෝ අය සිටිය ද වඩාත් සුදුසු පුද්ගලයින්ට සොයා එය ලබා දීම සිදු වන්නේ ඉතා අඩුවෙන්ය. එලෙස උපකාර අවශ්‍ය අය සොයා ඊට අවශ්‍ය සහාය ලබා දීමෙන් මම තෘප්තියක් ලබමි. බොහෝ බලපෑම්වලින් මිදී පැමිණ මෙලෙස බලපෑමට ලක් වූවන්ට පිහිට වීමෙන් සිතට සැනසීමක් ලැබෙයි.